(බිඟුන් මේනක ගමගේ)
කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරයේ තබා ඇති කෞතුක භාණ්ඩ රැසක් කොළඹට ප්‍රවාහනය කිරීමේදී අලාභ හානි සිදුකර ඇතැයි ද ඒ ගැන ඉහළ මණ්ඩලයක් පත්කර පරීක්ෂණයක් කරන්නැයි ද ඉල්ලමින් දුම්රිය වෘත්තිය සමිති සන්ධානය දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගෙන් ඉල්ලා සිටිමින් ලිපියක් යොමු කර ඇත.
කෞතුක භාණ්ඩ මෙසේ කොළඹට ප්‍රවාහනය කර ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් නොවන ජාවාරමක් වෙනුවෙන් යැයි චෝදනා කරන එම සන්ධානය ඊට කිසියම් පුද්ගලයකුගේ මුදල් වැය කර දුම්රිය දෙපාර්තමේන්තුව සතු යන්ත්‍ර සූත්‍ර හා නිලධාරින් ද යොදාගෙන ඇතැයි චෝදනා කරයි.
දැනටමත් එස්. 3 වර්ගයේ 613 දරණ එන්ජිම, දොඹකරය හප්පා කඩාදමා ඇතැයි ද ලංකාවේ පළමු දුම්රිය මැදිරිය හරි මැදින් කඩාදමා පෞරාණික වටිනාකමින් යුත් දුම්රිය දේපල රාශියක්ම විනාශකර ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තුවට මෙයින් මිළ කළ නොහැකි හානියක් සිදුකර ඇතැයි ද එම ලිපියේ සඳහන් වේ.
දුම්රිය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන මහජනතාවට සහ අධ්‍යාපන කටයුතු වල නිරත වන පාසල් දරුවන් වෙනුවෙන් කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරය ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටින්නේ යැයි ද කෞතුකාගාරයක් ඉදිකිරීමේ මුවාවෙන් මෙවැනි හානිකර කටයුතු කිරීමට ඉඩ නොදෙන්නැයි ද එම සන්ධානයේ සමකැඳවුම්කර් එස්.පී විතානගේ මහතාගේ අස්සනින් යුතුව නිකුත් කළ එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.