උතුරු මැද ගව රෝගයට හේතු සොයා ගනියි


(අංජුල මහික වීරරත්න)

උතුරු මැද පළාතේ ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාස කිහිපයක මේ දින වල ව්‍යාප්ත වන ගවයන්ගේ  සම මතුපිට ගෙඩි හටගැනීමේ රෝගය බෝ වීමට හේතුව උතුරු පළාතේ සිට ගවයන් එහි රැගෙන ඒම බව පශු සම්පත් නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍යංශයට දැනුම් දී තිබේ.

මින් පෙර උතුරු පළාතේ ව්‍යාප්තව තිබු මෙම රෝග තත්ත්වය මේ වනවිට එම පළාතේ පාලනය වී තිබේ.

 උතුරු මැද පළාතේ එම රෝග තත්ත්වයට ලක් වූ ගවයින් උතුරු මැද පළාතට නොගෙනන ලෙස පළාත් පශු අංශ නිලධාරීන් ගොවීන්ට දැනුම් දී තිබුනත් උතුරු මැද පළාතේ ගොවීන් එම උපදෙස් නොසලකා හැර කටයුතු කිරීම නිසා මෙම රෝග තත්ත්වය එම පළාතේ ව්‍යාප්තවීමට හේතු වූ බව පශු අංශ කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය.

දැනට උතුරු මැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක ව්‍යාප්ත වී තිබෙන ගවයින්ගේ සම මතුපිට ගෙඩි හට ගැනීමේ රෝගය හෙවත් ගව Lumpy Skin Disease රෝගය පාලනය සඳහා  ගෙන ඇති පියවර සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පශු අංශය බාර නිලධාරින්ගෙන් කරුණු විමසීය.

එමෙන්ම මෙම රෝග තත්ත්වය වර්ධනය වීමට හා ව්‍යාප්ත වීමට හේතුව ගවයින් අතර පවතින සමීප සම්බන්ධතාවය Direct Contact ඉහළ යාම නිසා බව පශු අංශ පවසයි.

 තණකොළ කෑම සඳහා සතුන් වැව් පිටිවලට හා කුඹුරුවලට  නිදහස් කිරීම වැනි හේතුන් නිසා සතුන් අතර සමීප සම්බන්ධතාවය ඉහළ යාම මෙම රෝගය ව්‍යාප්තියට ප්‍රබල ලෙස බලපාන බව අනාවරණය වී ඇත.

Capripox නැමැති වෛරසය හේතුවෙන් මෙම රෝගය හට ගන්නා අතර කිණිතුල්ලන්, මැක්කන් හා ලේ උරාබොන වෙනත් කුඩා සතුන් නිසා  සතුන් අතර ඉක්මනින් මෙම වෛරස රෝගය පැතිරීමට හැකියාව තිබේ.

මෙම රෝග තත්ත්වයෙන් ගවයින්ගේ  හට ගන්නා මානසික ව්‍යාකුලතාවය නිසා එම සතුන්ගේ කිරි නිපදවීමේ හැකියාව අඩාල වේ.

මෙම රෝගය සති දෙකක් වැනි කාලයකදී  සුවපත් වන අතර ගවයින් මියයාමට ඇති ඉඩකඩ බොහෝ අල්පය. නමුත් කිරි නිෂ්පාදනයේ අඩාල වීමක් සිදු වන බැවින් රෝගී තත්ත්වයට ලක් වූ සතුන් අනෙකුත් නිරෝගී සතුන්ගෙන් වෙන් කර තබා ගැනීමට හැකි නම් බොහෝ දුරට මෙම රෝගය ව්‍යාප්තිය පාලනය කර ගත හැකි බව කෘෂිකර්ම පශු සම්පත් නිලධාරීහු පවසති.