උතුරු ආණ්ඩුකාරවරයාගේ ඇරයුම ආවා කල්ලිය ප්‍රතික්ෂේප කරයි


එෆ්.අස්ලම්


තම අනන්‍යතාවය හෙළිකර ගැනීමේ හැකියාවක් නොමැති හෙයින්  ඇරයුම පිළිගනිමින් සාකච්ඡාවකට පැමිණිය නොහැකි බවට ආවා කල්ලිය උතුරු පළාත් ආණ්ඩුකාරවර සුරේන් රාගවන් මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

ආවා කල්ලිය මහජනතාවගේ සහ සංස්කෘතියේ ආරක්ෂාව තකා සංවිධානය වූවක් බවත් පොලිසිය හා මාධ්‍ය එක්ව තම කල්ලිය ගැන වැරදි අර්ථකතනයක් සමාජගත කර තිබෙන බවත් මේ හේතුව මත සිය අනන්‍යතාවයන් හෙළිකිරීමට නොහැකි බවත් ආණ්ඩුකාරවරයා වෙත යවන ලද එම ලිපියේ වැඩිදුරටත් සදහන් කර ඇත.

රජයේ නිලධාරීන්ගේ වංචා දූෂණවලට එරෙහිවත් කාන්තාවන්ට එරෙහි ප්‍රචන්ඩ ක්‍රියාවන්ට එරෙහිවත් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිවත් නැගී සිටින බවටද එම ලිපියේ සදහන් කර ඇත.

ආවා කල්ලියේ නමින් පසුගිය 17 වනදා නිර්නාමිකව මෙම ලිපිය යොමුකර ඇති අතර එම ලිපියේ මෙලෙස ද සදහන් කර ඇත.

'වත්මන් තත්වය මැද අපට ඔබතුමන් හමුවට පැමිණිමට නොහැකි බව කණගාටුවෙන් යුතුව සදහන් කර සිටිමු. අපගේ අනන්‍යතාවය හෙළිවන්නේ නම් පොලිසිය හා ජනමාධ්‍ය අතින් අපගේ අයිතිවාසිකම් කඩවීමේ හැකියාවක් පවතී.

2012 වසරේ ග්‍රීස් යකෙකුගේ භීතියෙන් උතුරේ ජනතාවට ජීවත් වීමට සිදුවුණා. මේනිසා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සුළු වශයෙන් තරුණ කණ්ඩායම් පිහිටුවා ගත්තා. මේ ආකාරයෙන් අපි සමාජීය ආරක්ෂාව හා සංස්කෘතික දියුණුව වෙනුවෙන් කටයුතු කළා. මුලින්ම කුඩාවට තරුණ කණ්ඩායම් එක්කර පිහිටුවා ගත් අප කල්ලිය අද වනවිට යාපනය අර්ධද්වීපය පුරාම ව්‍යාප්ත කරගැනීමට හැකිව තිබෙනවා.

පොලිසිය හා ජනමාධ්‍ය ආවා කල්ලිය සම්බන්ධයෙන් වැරදි ප්‍රචාරයන් සිදුකර තිබෙන්නේ. මේ නිසාවෙන් අපගේ සාමාජිකයින් රැසකටම සිරබත් කන්නට සිදුවෙලා. අපගේ කල්ලියේ නායක කුමරේසරත්නම් විනෝදන් (ආවා) ගැනත් විවිධ චෝදනා යටතේ නඩු පවරලා තියෙනවා. ඒ අයගේ ඒ ක්‍රියාවන් නිසා අද විනෝදන්ට එළියට ඇවිත් ඔහුගේ ජීවිතය ගොඩනගා ගැනීම ද අසීරු වී තිබෙනවා.

සිරදඬුවම් ලැබීමෙන් පසු ඔහු සමාජයේ ගැටළු විසදීමේ අරමුණින් ආවා කල්ලිය ප්‍රජාතන්ත්‍රවාදී සමාජ අයිතිවාසිකම් වෙනුවෙන් මාක්ස් තරුණ පෙරමුණ නමින් දේශපාලන පක්ෂයක් ආරම්භ කරල තියෙනවා. මෙය සමාජ විරෝධී ක්‍රියාවන්ට එරෙහිව පිහිටුවා ගනු ලැබූ පක්ෂයක්. නමුත් අපගෙන් පළිගැනීමේ ක්‍රියාවන් එතැන් පටන් සිදුවෙනමින් පවතිනවා.

යාපනයේ ඇතැම් කල්ලි විසින් විවිධ ආකාරයේ අපරාධ පහරදීම් වැනි සිද්ධීන් හොයා ගන්න බැරිව සිටින පොලිසිය ඒ අපරාධ අපේ ඔළුවට දානවා. දින කිහිපයකට කලින් කොකුවිල් දුම්රිය ස්ථානාධිපතිට කළ පහරදීමටයි අපගේ කණ්ඩායමට කිසිම සම්බන්ධතාවයක් නැති බව වගකීමෙන් ප්‍රකාශ කර සිටිනවා.


මේ වගේ තවත් අපරාධ රැසකටම අපව හසුකර අපගේ කල්ලියේ නම තම ආරක්ෂාව වෙනුවෙන් භාවිතා කරමින් බේරීයාමට පොලිසිය කටයුතු කර තිබෙනවා. මේ නිසා තමයි අපගේ කණ්ඩායමේ නම සමාජයේ කිලිටි වී තිබෙන්නේ.

අපි යාපනය විශ්ව විද්‍යාලයේ සිසුවියන්ට සිදුකරන නවක වදහිංසාවන්ට එරෙහිව නැගී සිටියා. තවද රජයේ නිලධාරීන්ගේ වංචා දූෂණවලට එරෙහිවත් කාන්තාවන්ට එරෙහි ප්‍රචන්ඩ ක්‍රියාවන්ට එරෙහිවත් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිවත් නැගී සිටිනවා 'යැයි ද එම ලිපියෙන් අවධාරණය කර ඇත.