ඉරාක වැසියෝ පාර්ලිමේන්තුව අල්ලයි


බැග්ඩෑඩ්හිදීය (ඒ.එෆ්.පී.)

නව අග්‍රාමාත්‍යවරයකු නම් කිරීමට, වැඩ බලන අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කදීමි තීරණය කීරීමත් සමඟ, ඊට විරෝධය පළ කරමින් විපක්ෂ ක්‍රියාකාරීන් ද ඇතුළු සිවිල් වැසියෝ දහස් ගණනක් ඉරාක පාර්ලිමේන්තුවට කඩා වැදී එය අත්පත් කර ගත්හ.

ඉරාක පාර්ලිමේන්තුව පිහිටා ඇත්තේ බැග්ඩෑඩ් අගනුවර, ග්‍රීන්සෝන් (හරිත කලාපය) නමින් හැඳින්වෙන අධි ආරක්ෂිත කලාපයේය. රජයේ අමත්‍යාංශ, විදේශ තානාපති කාර්යාල ආදිය ද පිහිටා ඇත්තේ මෙම කලාපයේය.

කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් විසුරුවා හැරීමට ඉරාක ආරක්ෂක අංශ උත්සාහ කළත් එම උත්සාහය සාර්ථක නොවුණු බව ද පැවැසෙයි.

පාර්ලිමේන්තු සභාගර්භයට ඇතුළු වුණු විරෝධතාකරුවන් නටමින් ගී ගයමින්, කතා නායකවරයාගේ අසුනේ අසුන් ගනිමින් කෑ කෝ ගසන වීඩියෝ දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ.

ඉරාකයේ දේශපාලන අර්බුදයක් පවතී. එම අර්බුදය හේතුවෙන් වැඩ බලන (භාරකාර) අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරන්නේ මුස්තාෆා අල් කදීමි ය. නව අග්‍රාමාත්‍යවරයා ලෙස මුහම්මද් අල් සුදානීගේ නම යෝජනා කිරීමට අල් කදීමි පෙරේදා (27) තීරණය කළේය. මෙය ආගමික නායක මුඛාඩා අල් සදාර්ගේ දැඩි විරෝධයට හේතුවක් විය.

මුඛාඩා අල් සදාර් යනු ඉරාකයේ ෂියා මුස්ලිම් ආගමික නායකයකු මෙන්ම ප්‍රබල දේශපාලන නායකයෙකි. මුඛාඩා අල් සදාර් චෝදනා කර ඇත්තේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා නම් කළ මුහම්මද් අල් සුදානී දැඩි ඉරාන හිතවාදියකු බවය. පාර්ලිමේන්තුවට කඩා වැදුණු ඉරාක වැසියන් බොහෝ දෙනා මුඛාඩා අල් සදාර්ගේ අනුගාමිකයන්ය.

දිනෙන් දින ප්‍රමාද වීමෙන් පසු, 2021 ඔක්තෝබරයේ ඉරාක මහ මැතිවරණය පැවැත්විණි.