ඉන්දු - ලංකා නිර්මාණ ශිල්පීහු සීයක් එකම වේදිකාවක


(අංජුල මහික වීරරත්න)

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික ශිල්ප සභාව ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය සමඟ එක්ව සංවිධානය කළ "ඉන්දු - ලංකා හස්ත කර්මාන්ත සහ සංස්කෘතික උළෙල"හැව්ලොක් සිටි මෝල්" හිදී ආරම්භ කෙරිණි.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹි මෙම ප්‍රදර්ශනය හෙට( 16 )තෙක් පැවැත්වෙයි.

දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ සඳහා අලෙවි පහසුකම් ලබාදීම, එම ශිල්පීන්ගේ නිර්මාණ අතරමැදියන්ගෙන් තොරව ගැනුම්කරුවන් වෙත සෘජුව අලෙවිකර ගැනීමට අවස්ථාව උදාකර දීම, ශ්‍රී ලාංකිකයන්ට විදේශීය හස්ත කර්මාන්ත නිර්මාණ මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම සහ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම යන අරමුණු මුල් කර ගනිමින් මෙම වැඩසටහන සංවිධානය කරයි.

දේශීය මෙන්ම විදේශීය නිර්මාණ ඇතුළත් නිර්මාණ අලෙවි කුටි සියයකින් යුක්ත මෙම "ඉන්දු - ලංකා හස්ත කර්මාන්ත සහ සංස්කෘතික උළෙල" ලාංකික හා ඉන්දියා සංස්කෘතික අංග රැසකින්ද සමන්විත වෙයි.

මෙහි සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් Santosh Jha, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහත්වරු ද සහභාගී වූහ.