( තිළිණි ද සිල්වා )
වාණිජ මගී ගුවන් යානා සඳහා ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළවල් තාවකාලිකව වසා දමන බව ශ්‍රී ලංකා රජය තීරණය කළායින් පසුව දඹදිව වන්දනා සඳහා ඉන්දියාවට ගොස් සිටි ශ්‍රී ලාංකික බෞද්ධ වන්දනාකරුවන් 1500 දෙනෙකු ආපසු දිවයිනට ගෙන්වීමට රජයට හැකි වූ බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.
මෙම සියලු වන්දනාකරුවන් කල් තබා ඉන්දියාවෙන් පිටත්ව ගියද නියමිත වාණිජ ගුවන් ගමන් මඟින් සහ පසුව අතරමං වූ වන්දනාකරුවන් නැවත ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ විශේෂිත ගුවන් යානා මගින් මොවුන් ගෙන්වා ගැනීමට හැකි වූ බවද විදේශ සබදතා අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.
විදේශ සබඳතා අමාත්‍යාංශය සහ බුද්ධශාසන අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණයවී නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින්, මෙම වන්දනාකරුවන්ගේ ආපසු පැමිණීමට පහසුකම් සැලසීම සඳහා මාර්තු 21 සහ 22 දිනවල දී නවදිල්ලියේ හා චෙන්නායි ශ්‍රී ලංකන් ගුවන් සේවා කාර්යාල සමඟ මෙන්ම මෙම සංචාරක කණ්ඩායම් සමඟ ද සමීපව කටයුතු කරන ලදී.
ටිකට්පත් නැවත සකස් කිරීම මෙන්ම දිල්ලියේ සහ චෙන්නායි හි ජාත්‍යන්තර ගුවන් තොටුපලවල දී ලබා දෙන ලද සහය ද මෙම ප්‍රයත්නවලට ඇතුළත් වු බව අමාත්‍යාංශය පෙන්වා දේ.
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි මෙම වන්දනාකරුවන් සාර්ථකව ආපසු මෙරටට රැගෙන ඒම සඳහා සහාය වීම වෙනුවෙන්, ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ගුවන්තොටුපල බලධාරීන් ඇතුළු ඉන්දීය රජයේ අදාළ ආයතනවලට, නවදිල්ලියේ සහ චෙන්නායි හි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්යාලවලට, ඉන්දියාවේ ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානවල හා බෞද්ධ සිද්ධස්ථානවල මෙන්ම නවදිල්ලියේ ශ්‍රී ලංකා බෞද්ධ වන්දනාකරුවන්ගේ විශ්‍රාම ශාලාවේ වෙසෙන පූජනීය භික්ෂූන් වහන්සේලාට ද, නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සිය ඉමහත් කෘතඥතාවය පළ කරන බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී..

