ඉඩම් ප‍්‍රතිපත්තියක් ඉක්මණින් සම්පාදනය විය යුතුයි


(විනිතා එම් ගමගේ)

ඉඩම්වල අයිතිය පොදු ජනතාවට හිමිවිය යුතු බවත් ජාවාරම්කරුවන්ට රටේ ඉඩම් විනාශ කිරීමට ඉඩ දිය නොහැකි බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.

ඉඩම් ප‍්‍රතිපත්තියක් ඉක්මණින් සම්පාදනය විය යුතු බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

එවන් නීතියක් සම්පාදනය කිරීමේ දී කිසිවිටෙකත් ධනපති පන්තියට හෝ ජාවාරම්කාර ව්‍යාපාරිකයන් ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතු අතර රටේ අහිංසක දුක්විඳින ගොවි ජනතාවට භූමියේ අයිතිය හිමිකර දීම වගකිව යුතු රජයක ප‍්‍රමුඛ අරමුණ විය යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

එකම රටක ඉඩම් භාවිතය පිළිබඳව ද නීති සම්පාදනය විය යුතු අතර නව සංශෝධන යටතේ ඊට අදාල කොන්දේසි කිසිසේත් ඉවත් නොවිය යුතු බව ද සිරිසේන මහතා කීය.

ඉඩම් පිළිබඳ  බලය ප‍්‍රාදේශීය සභා වෙත පැවරීම හේතුවෙන් සිදුව ඇති දූෂිත තත්ත්වය ද පැහැදිලි කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳව ද අදාළ  පාර්ශ්වයන්ගේ කඩිනම් අවධානය යොමු කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ ඉඩම් පනත සංශෝධනය පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (20) පැවැති සාකච්ඡාවකදීය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ විජයදාස රාජපක්ෂ, රාජිත සේනාරත්න, පී හැරිසන්, ගයන්ත කරුණාතිලක, දයා ගමගේ යන ඇමතිවරු ද අදාල අමාත්‍යංශ ලේකම්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.