ඇල්පිටිය රෝහලේ විදුලි සෝපානය සකසයි


(චන්ද්‍රසිරි ගුණසේකර)


අක්‍රීය වී තිබූ ඇල්පිටිය මූලික රෝහලේ විදුලි සෝපාන යන්ත්‍ර දෙකම   අද (20)  පෙරවරුවේ යළි යථා තත්ත්වයට පත්කිරීමට හැකිවූ බවත් ඒ නිසා රෝහලේ සියලු කටයුතු පුරුදු පරිදි සිදුකිරීමට පියවර ගෙන ඇති බවත්  ඇල්පිටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය දිමුතු අමරසිංහ මහතා පැවසීය.

මෙම රෝහලේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලේ කාන්තා හා පිරිමි වාට්ටු පිහිටා ඇති අතර මෙම වාට්ටුවලට ඇතුලත් කරන රෝගින් මෙන්ම නියමිත ශෛල්‍යකර්ම සඳහා යොමුකරන රෝගින්ද එහා මෙහා රැගෙන යන්නේ මෙම විදුලි සෝපාන යන්ත්‍ර උපයෝගී කරගෙන බැවින්  ඊයේ රාත්‍රි හිටිහැටියේ මෙම සෝපාන යන්ත්‍ර දෙකම ක්‍රියා විරහිතවීම නිසා රෝගීන් එහා මෙහා ගෙනයාම අපහසුවී තිබුණී .

විශේෂයෙන් ශෛල්‍යකර්ම සඳහා ශෛල්‍යගාරයට රැගෙන යන රෝගීන් සිහිනැතිකිරීමෙන් පසු එහා මෙහා රැගෙන යා නොහැකි තත්ත්වයක් උදාවීම නිසා   අද දින සිදුකිරීමට නියමිතව තිබූ සියලුම ශෛල්‍යකර්ම කල් තැබූ බවත් එහෙත් ඉතා ඉක්මනින් අදාළ සමාගම විසින් විදුලි සෝපාන යන්ත්‍ර දෙක අලුත්වැඩියා කර යථා තත්ත්වයට පත් කිරීම නිසා යළි සුපුරුදු පරිදි රෝගින්ගේ අවශ්‍යතා සිදුකිරීමට හැකියාව ලද බවත්  රෝහල් අධිකාරී වෛද්‍ය දිමුතු අමරසිංහ මහතා පැවසීය.


මෙම විදුලි සෝපාන යන්ත්‍ර දෙකේ ක්‍රියාකාරිත්වය සඳහා රෝහල් සේවකයෙකු යොදවා තිබෙන බවද වෛද්‍ය අධිකාරිවරයා පැවසීය.