ඇමෙරිකා දූත පිරිස අගමැති හමුවේ


(අංජුල මහික වීරරත්න)

මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡා සඳහා සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවට පැමිණ සිටින අමෙරිකානු ඉහළ පෙළේ නියෝජිත පිරිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ අද පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබාදෙන බව ද එම ඉහළ පෙළේ නියෝජිත පිරිස අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින අමෙරිකා ඉහළ පෙලේ දූත පිරිස සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද පෙරවරුවේ සිදු කෙරිණි.

ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික අභියෝග හමුවේ ආධාර ලබා දීමට හැකි ක්‍රම පිළිබඳව සොයා බැලීම සඳහා මෙම දූත පිරිස ලංකාවට පැමිණියහ.

අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සහ ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරන මෙම දූත පිරිසට ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් රොබර්ට් කැප්‍රොත් මහතා සහ දකුණු මධ්‍යම ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලීන් මහත්මිය ඇතුළත් වෙති.