ආර්ථික අර්බුදයේ සම්පූර්ණ බර මහජනතාවට පටවලා


(යොහාන් භාසුර)

ආර්ථික අර්බුදයේ සම්පූර්ණ බර මහජනතාවට දැමීමට සූදානම් වන වර්තමාන ආණ්ඩුව ධන කුවේරයන්ට බදු සහන දෙමින් සිටින බවත් රුපියල් කෝටි ගණනින් බදු පැහැර හැර සිටින පුද්ගලයන්ගේ දේපළ රාජසන්ත කර හෝ මුදල් අයගකරගත යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා අද (26) පැවසීය.  

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාස හයක් සඳහා කෙටි අයවැයක් ඉදිරිපත් කර ඒ අයවැයේ මුළු බර ජනතාව මත පැටවීමට සූදානම් වන බව කී ජාගොඩ මහතා අධ්‍යාපන සහ සෞඛ්‍ය වියදම් හැර සෙසු සියලු වියදම් කපා හැරීමට සූදානම් වන බව ද සඳහන් කළේය.  

පාලකයන්ගේ මිතුරන් වන ධනකුවේරයන්, පෞද්ගලික සමාගම් සහ රාජ්‍ය සමාගම් රාජ්‍ය බැංකුවලින් ණය ලබාගෙන මුදල් මංකොල්ලාකමින් බොල්ණය ලෙස කපාහරින බවත් ජනතාව පරිභෝජනය කරන භාණ්ඩ හා සේවාවලට බදු පැනවීමෙන් ජනතාව මත බදුබර ඉහළ ගොස් ඇති බවත් ජාගොඩ මහතා කීය.  

රජයේ බදු ආදායමෙන් සියයට 15 ක් වන සෘජු බදුවලින් 2015 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ රුපියල් කෝටි 51,915 ක දැවැන්ත බදු මුදලක් බැහැර හැර ඇති බවත් රටේ අගමැතිකමට පත්කළ යුතු යැයි ඇතැමුන් කියන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් රුපියල් කෝටි සිය ගණනින් බදු පොලු තබා ඇති බවත් ජාගොඩ මහතා සඳහන් කළේය.

මූල්‍ය අපරාධකරුවන් වන බදු පැහැර හැරි එම පුද්ගලයන් සම්බන්ධයෙන් විශේෂ අධිකරණයක් පිහිටුවා හෝ කටයුතු කළ යුතු බව කී ජාගොඩ මහතා සඳහන් කළේ ඔවුන්ගේ දේවපළ රාජසන්තකර හෝ බදු අයකරගත යුතු බවයි.
පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා කොළඹදී අද (26) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.