(ඩයනා උදයංගනී)
රටේ මතුව ඇති ආර්ථික අර්බුදයට රාජපක්‍ෂවරුන් මෙන්ම ඔවුන් යටතේ කටයුතු කළ භාණ්ඩාගාර හා මහබැංකු අධිපතිවරු ආදී නිලධාරීන්ද එකාවන්ව වගකිව යුතු බව 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
රටේ ජනතාව දුක් විඳින්නේ තනි පවුලක් මෙන්ම ඔවුන්ට මංකොල්ල කෑමට ඉඩදුන් නිලධාරීන් අතලොස්සත් නිසා බව කී මන්ත්‍රීවරයා ඔවුන් සම්බන්ධයෙන් මූල්‍ය පනත් අනුව නීති ක්‍රියාමාර්ග ගත යුතු බව ද කීවේය.
රට මෙවන් ඉරණමකට පත් කළ අජිත් නිවාඩ් කබ්රාල්, එස්.ආර් ආටිගල ආදී නිලධාරීන්ට නිදහසේ විශ්‍රාම සුවය ගත කළ නොහැකි බව හෙතෙම කීය.
රටේ ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන් ධම්මික පෙරේරා මහතාට ජයගත හැකි අභියෝගයක් නොවන බව කී පාඨලී චම්පික මහතා ඔහුට වැඩක් කර ජයගත හැකිද යන්න තව මසකින් බැලිය හැකි බව පැවසීය.
වත්මන් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ජූලි 3 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඊ ළඟ ධූර කාලය ලබාදිය යුතු බව ද මන්ත්‍රීවරයා කීවේය.
පාඨලී චම්පික මහතා මේ බව පැවසුවේ නාරාහේන්පිට, පිහිටි 43 වන සේනාංක කාර්යාලයේ දී අද (22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
රාජ්‍ය මූල්‍ය වගවීමේ පනත හා මුදල් නීති පනත මගින් රාජ්‍ය මූල්‍ය තත්වය පවත්වාගෙන යාමට මහ බැංකු හා මහා භාණ්ඩාගාර නිලධාරීන් බැඳී සිටින බව ද පාඨලී චම්පික මහතා සඳහන් කළේය.
මෙරට ණය ඉතා අස්ථාවර නිසා වහා පියවර ගන්නා ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2020 මාර්තු මාසයේ කළ දැනුම්දීම ඉන්දීය ඔත්තු සේවා මගින් පාස්කු ප්‍රහාරයට පෙර බුද්ධි සේවාවලට ලබාදුන් ලියවිල්ල වැනිම අනතුරු ඇඟවීමක් වුවත් හිටපු මහබැංකු අධිපති ඇතුළු මූල්‍ය මණ්ඩලය කිසිම තැකීමකින් තොරව මුදල් අච්චු ගසමින් ඉදිරියට ගිය බව හෙතෙම පැවසීය.
හිටපු මහබැංකු අධිපතිවරයකු වන ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ඩොලර් බිලියන 7.2ක සංචිතයක් භාරදුන් බවත්, ඩොලරයේ අගයට සාපේක්‍ෂව රුපියල 203 පවත්වාගැනීම සඳහා ඔවුන් ඉන් බිලියන 5.5ක් වාෂ්ප කළ බවත් මන්ත්‍රීවරයා කීවේය.