අවතැන් අයගේ වියළි ආහාර දීමනාව වැඩි කරයි


(අංජුල මහික වීරරත්න)

හදිසි ආපදා තත්ත්වයක දී විපතට පත්වන ජනතාවට හා ආපදා අවදානම් හේතුවෙන් පදිංචි වාසස්ථාන වලින් ඉවත් කරන ජනතාවට සහන සැලසීම, හානියට පත්වන දේපළ යථා තත්ත්වයට පත් කිරීම සහ වන්දි ගෙවීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිෂ් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා විශේෂ දැනුම් දීමක් කර තිබේ.

අමාතංශ ලේකම්වරු,ප්‍රධාන ලේකම්වරු,දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මෙම දැනුම් දීමේ ලිපිය නිකුත් කර ඇත.

එම ලිපියේ මෙසේ සඳහන්ය.

ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයේ ලිපියේ අංක 02 හි සඳහන් පරිදි සුරක්ෂිත මධ්‍යස්ථාන වලට පැමිණෙන අයට පමණක් පිසු ආහාර ලබාදිය යුතු බවට ආපදා සහන සේවා චක්‍රලේඛ හා මාර්ගෝපදේශ 01/2025 හි සඳහන් වී නොමැත. එම මාර්ගෝපදේශයේ අංක 5.1.5.2.1 මගින් වට වූ පුද්ගලයින්ටද පිසූ ආහාර සැපයීමට ප්‍රතිපාදන සලසා ඇත. එබැවින්, සුරක්ෂිත මධ්‍යස්ථාන කරා නොපැමිණුනද කිසියම් හෝ ආපදාවකින් පීඩාවට පත්වන සියලුම ජනතාවට පිසූ ආහාර ලබාදීමට කටයුතු කළ යුතුය.

ආරක්ෂක ලේකම්ගේ 2025.11.28 දිනැති ආපදා සහන සේවා චක්‍රලේඛ 03/2025 මගින් මෙම ආපදා තත්ත්වය විස්තීර්ණ ආපදාවක් බවට ප්‍රකාශයට පත්කර ඇති බැවින් ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයේ ලිපියේ අංක 03 මගින් ඉල්ලා ඇති පරිදි මෙවැනි අවස්ථාවකදී පිසූ ආහාර හා වියළි සලාක ලබාදිය හැකිය. තවද, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ හා සහන සේවා කමිටුවේ හෝ ප්‍රාදේශීය ආපදා කළමනාකරණ හා සහන සේවා කමිටුවේ අනුමැතියෙන්ද මේ අවස්ථාවේ දී සුදුසු පරිදි කටයුතු කිරීමට ජනාධිපති උපදෙස් ලබා දී ඇත.

එසේම, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්ගේ අංක BD/NSLE/103/DMD/09/2025 2025.11.28 දිනැති ලිපිය මගින් රුපියල් මිලියන 50ක් දක්වා බාධාවකින් තොරව ප්‍රසම්පාදන කට යුතු සිදු කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත බලය ලබා දී ඇත.

04. 2025.11.21 වන දින සිට බලපෑ ආපදා තත්ත්වය විස්තීර්ණ ආපදා තත්ත්වයක් බවට ප්‍රකාශයට පත්කර ඇති බැවින්, වියළි ආහාර ද්‍රව්‍ය සඳහා මුදල් බැංකු ගිණුම් ගත කිරීම වෙනුවට ආපදාවට ලක් වූ පුද්ගලයන්ට ගැලපෙන පරිදි වියළි ආහාර ද්‍රව්‍ය වුව ද ලබාදිය හැකි බව ඔබ වෙත කාරුණිකව දන්වමි.

05. ඉහත පරිදි කටයුතු කිරීමට අපහසු වන අවස්ථා වලදී ප්‍රාදේශීය ලේකම් සංගමය විසින් යෝජනා කර ඇති පරිදි ප්‍රාදේශීය ලේකම්ගේ සභාපතීත්වයෙන් යුත් සුදුසු කමිටුවක් මගින් කටයුතු කිරීමට අනුමැතිය ලබා දෙයි.

කඩිනම් සහන යටතේ වියළි ආහාර ද්‍රව්‍ය වෙනුවෙන් ලබාදෙනු ලබන දීමනාව පහත පරිදි සංශෝධනය කරමි.