(සුජිත් හේවාජුලිගේ )
මත්පැන් නිෂ්පාදන ආයතන 5ක් සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 205 කට වැඩි වටිනා විවිධ ගාස්තු ගෙවීම(2020.7.20 දිනට) පැහැර හැර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා ) පවසයි.
එම කාරක සභාව මේ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් පසුගියදා කරුණු විමසා ඇත
මෙහිදී එම ප්‍රධානීන් පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් සමාගම් දෙකකට එරෙහිව දැනටමත් නීතිමය කටයුතු ආරම්භ කර ඇති බවයි.
තවත් සමාගම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ඉදිරිපත් කර ඇති බව එම ප්‍රධානීන් කෝපා කමිටුව වැඩිදුරටත් දැනුම්දී ඇත.
මෙලෙස අය විය යුතු හිඟ මුදල් අතුරින් වැඩි ප්‍රමාණයක් ඇත්තේ ප්‍රමාද ගාස්තු බව කෝප් කමිටු නිලධාරීහු පැවසූහ.
මේ අතර සුරාබදු දෙපාර්තමේන්තුව සිදුකරන ග්‍රහණ සංඛ්‍යාව නිලධාරී හිඟකම නිසා විශාල වශයෙන් අඩුවී ඇතැයි කෝප් කමිටු විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇත.
සුරාබදු දෙපාර්තමේන්තුව 2017 වර්ෂයේ දී ප්‍රධාන ග්‍රහණ 53,848 ක් සිදු කර ඇති අතර 2020 වර්ෂය වනවිට එම ග්‍රහණ සංඛ්‍යාව 39848 ක් දක්වා ක්‍රමානුකූලව අඩුවී තිබූ බව කමිටුව සඳහන් කරයි.
මේ පිළිබඳ තොරතුරු සඳහන් වන්නේ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ එහි වාර්තාවේය.