අයිස් මතින් බස් පැදවූ රියැදුරන්ට 81,000 ක් දඩ


(නිමන්ති රණසිංහ)

අයිස් මත්ද්‍රව්‍ය භාවිත කර බස්රථ ධාවනය කළ පෞද්ගලික බස්රථ රියැදුරන් දෙදෙනකුට රුපියල් 81,000ක දඩයක් සහ මාස හයක බරපතල වැඩ සහිත සිරදඩුවමක් කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියම කළේය.

කොළඹ නාගරික රථවාහන පොලීසිය මෙම චූදිතයන් දෙදෙනාට එරෙහිව නඩු දෙකක් අධිකරණය හමුවේ ගොනු කර තිබූ අතර ඔවුන්ට නගා තිබූ චෝදනාව වූයේ විෂ මත්ද්‍රව්‍ය භාවිත කර බස්රථ ධාවනය කිරීමය.

මෙලෙස සිරදඬුවම් නියම වූයේ අංක එන් ඊ 7852 දරන පුද්ගලික බස් රථයේ රියැදුරු වූ හත්පිටිය, වතුරගම පදිංචි අතපත්ත-ු ලියනගේ සඳුන් සම්පත් සහ අංක එන් ඊ 1821 දරන පුද්ගලික බස් රථයේ රියැදුරු වූ හීනැටියන, මිනුවන්ගොඩ පදිංචි මල්ලවාරච්චිගේ නිශාන්ත ප්‍රදීප් මල්ලවාරච්චි නමැත්තන්ටය.

මෙම රියැදුරන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කළ බවත් එම වාර්තාවට අනුව ඔවුන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වූ බවත් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී. ඒ අනුව එම චෝදනාවන්ට සැකකරුවන් දෙදෙනා වරද පිළිගත් අවස්ථාවේදී මෙම දඩුවම් නියම විණී.