අමරකීර්ති නඩුවේ විත්තිකරුවන් 30 ගැන තීරණය 28වැනිදා


(ආනන්ද ඉ ජයකොඩි සහ ටෝනි කරුණානායක)

පොලොන්නරුව හිටපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල හා ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන් අහංගම විතානරලාගේ ජයන්ත ගුණවර්ධන යන දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව රිමාන්ඩ් භාරයේ පසුවන විත්තිකරුවන් තිස් දෙදෙනෙකු ඇප මත මුදා හරිනවාද නැද්ද යන්න නියෝගය ලබා දීම අද (7) පස්වරුවේ ගම්පහ විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මේ මස 28 වනදාට කල් තැබීය.

මහාධිකරණ විනිසුරු වරුන් වන සහන් මාපා බණ්ඩාර (සභාපති), රශ්මි සිංගප්පුලි සහ ඩී ඒ රුවන් පතිරණ යන මහත්වරුන් ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (07) මෙම නඩුව කැඳවනු ලැබීය.

මෙහිදී ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා දස පුද්ගල ඝාතනය සම්බන්ධ අනුරුද්ධ රත්වත්තේ නඩුව ඇතුළු නව නීති වාර්තා කිහිපයක් ඉදිරිපත් කරමින්  කරුණු දක්වමින් දැන් මේ වන විට විත්තිකරුවන් තිස් දෙදෙනෙකු වසරකටත් වඩා වැඩි කාලයක් තිස්සේ රිමාන්ඩ් භාරයේ පසුවන බවත්, මේ අනුව තවදුරටත් එම පුද්ගලයින් රිමාන්ඩ් රිමාන්ඩ් භාරයේ රදවා තබා ගැනීම නීති විරෝධී බවත්   සුවිශේෂී තත්ත්වයක් නොමැති හෙයින් ඔවුන් ඇප මත මුදා හරින මෙන් ඉල්ලා සිටියේය.

පෙර දිනයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා විත්තිකරුවන් ඇප මත මුදා හැරීමට විරුද්ධව කරුණු දක්වමින් ඔවුන් ඇප මත මුදා හැරිය හොත් එක් පුද්ගලයෙකු හෝ අධිකරණය මග හැරියොත් නඩු විභාගය පැවැත්වීම කළ නොහැකි තත්ත්වයක් මතු වන බවට ප්‍රකාශ කර ඇති බවත් ජනාධිපති නීතීඥ වරයා කීය.

එම ප්‍රකාශය කෙසේවත් පිළිගැනීමට නොහැකි බවත් , සාක්කි කරුවන් එක් අයෙකු හෝ නොපැමිණියහොත් නඩු විභාගය පවත්වන්නේ කෙසේ දැයි ප්‍රශ්න කරන බවත් ජනාධිපති නීතීඥ වරයා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේය.

එක් විත්තිකරුවෙකු හෝ අධිකරණයට නොපැමිණිය හොත් නඩු විභාගය පැවැත්වීම පිළිබඳව ප්‍රශ්නයක් මතු වන බවට උපකල්පනය කිරීමට හැකියාවක් නැහැ අනෙක් වැදගත්ම සිද්ධිය එදා උදය වරුවේ සිදු වූ සිද්ධියෙන් පසුව තමයි මේ විත්තිකරුවන් හට වසරකටත් වඩා වැඩි කාලයක් තිස්සේ රිමාන්ඩ් භාරයේ සිටීමට සිදු වී ඇත්තේ යැයිද ජනාධිපති නීතීඥ වරයා සඳහන් කළේය.

මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා:-

බල්ලො බලල්ලු වගේ මරල දාපු සිද්ධියක්,  හිගන්නෙක් මැරුවත් අපි ඒ සාධාරණ ඉටු කිරීමට පියවර ගන්නවා. මේ  තත්ත්වය යටතේ තමයි නීතිපති වරයාගේ ඉල්ලීමකට අනුව අගවිනිසුරු තුමා විසින් මෙය සුවිශේෂී නඩුවක් සේ සළකා  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර තිබෙන්නේ, මේ තත්වය යටතේ රිමාන්ඩ් භාරයේ රදවා සිටින විත්තිකරුවන් ඇප මත මුදා හැරීමට විරුද්ධ වනවා.
අධිකරණ මග හැර සිටින විත්තිකරුවන් දෙදෙනා පිළිබඳව කරුණු අනාවරණය කිරීම සඳහා සාක්ෂිකරුවන් ද අද අධිකරණයට පැමිණ සිටිනවා.

ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා:-

මේ දේශපාලන ඝාතනයක් නිසා තමයි ඔය සුවිශේෂී තත්ත්වයක් නිර්මාණය කර ගෙන තිබෙන්නේ, හිගන්නෙකුගේ ඝාතනයකට සුවිශේෂී තත්වයක් යටතේ නඩුවක් පවත්වා ගෙන ගිහින් තිබේදැයි මම ප්‍රශ්න කරනවා.

අනෙක් පැත්තෙන් විත්තිකරුවන් රිමාන්ඩ් භාරයේ සිටින වසරක කාලයක් ගත වීමට පෙර තවදුරටත් රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට සුවිශේෂී කරුණු ඉදිරිපත් කර ඉල්ලීමක් කර නැහැ. මේ තත්ත්වය යටතේ රිමාන්ඩ් භාරයේ සිටින විත්තිකරුවන් ඇප මත මුදා හරින මෙන් ඉල්ලා සිටිනවා.

රිමාන්ඩ් භාරයේ සිටින විත්තිකරුවන් තිස් දෙදෙනෙකු හා ඇප මත මුදා හැර සිටින විත්තිකරුවන් පස් දෙනෙකු අධිකරණය ඉදිරියේ පෙනී සිටියහ.

දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් වලින් අනතුරුව විත්තිකරුවන් ඇප මත මුදා හරිනවා ද නැද්ද යන්න නියෝගය ඊළග දිනයේ ප්‍රකාශ කරන බවද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දන්වා සිටියහ.

සාක්ෂි කරුවන් හට එදින අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසට ද නියෝග කෙරිණි.

ඇප මත මුදා හැර සිටින විත්තිකරුවන් පස් දෙනාට එදින අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට ද නියෝග කෙරිණි.

රිමාන්ඩ් භාරයේ රදවා සිටින විත්තිකරුවන් තිස් දෙදෙනෙකු එදින දක්වා රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට ද නියෝග කෙරිණි.

නැවත කැදවීම මේ මස 28 වනදාට කල් තැබිණ.

ජනාධිපති නීතීඥ සාලිය පීරිස්, සමීර අතුකෝරල,  තිලංග බ්ලොග්, හරිත හෙට්ටිආරච්චි, සාලින්ද අමරසිංහ, ලාල් කුමාරපේලි හා ශිරාණි දිසානායක යන නීතීඥ මහත්ම මහත්මීන් ඇතුළු නීතීඥ වරුන් පිරිසක් විත්තිය වෙනුවෙන් පෙනී සිටියහ.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ මහත්ම මහත්මීන් පිරිසක් සමග නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා පැමිණිල්ල මෙහෙය වූහ.

ගෝඨා ගෝ ගමට හා මයිනා ගෝ ගමට මැර ප්‍රහාරයක් එල්ල වූ පසුගිය වසරේ මැයි මස 09 වනදා පස්වරුවේ නිට්ටඹුව නගරයේ හට ගත් මහජන නොසන්සුන් තාවයන් අතරතුරදී එම ඝාතනයන් සිදු කොට තිබිණ.

මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන  හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වා පුද්ගලයින් හතළිස් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබිණ.

මොවුන් අතරින් පුද්ගලයින් පස් දෙනෙකු ඇප මත මුදා හැර සිටින අතර පුද්ගලයින් තිස් දෙදෙනෙකු රිමාන්ඩ් භාරයේ පසුවෙති.

පුද්ගලයින් දෙදෙනෙකු මහර බන්ධනාගාරයේ දී මිය ගොස් තිබිණ.

එක් පුද්ගලයෙකු නිදහස් කර ඇත.

තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට පෙර පැන ගොස් ඇත.