අමරකීර්ති ඝාතනයේ විත්තිකරුවන් 39කට අධි චෝදනා


 

(ආනන්ද ඉ. ජයකොඩි සහ ටෝනි කරුණානායක)

පොලොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 39 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ අධිචෝදනා පත්‍ර ගම්පහ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ (19) භාර දුන්නේය.

පුද්ගල ඝාතනය ඇතුළු අධිචෝදනා 14ක් යටතේ මෙම විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා ගොනුකළ අධිචෝදනා පත්‍ර භාරදීම ඊයේ (19) විවෘත අධිකරණයේ දී සිදුවූයේ මහාධිකරණ විනිසුරුවරුන් වන සහන් මාපා බණ්ඩාර (සභාපති), රශ්මි සිංගප්පුලි සහ ඩී.ඒ. රුවන් පතිරණ යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ දීය.

අධිචෝදනා පත්‍ර භාරදීමෙන් පසු අධිකරණයට කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙය විශේෂ නඩුකරයක් වන බැවින් දිනපතාම හෝ සතියකට නියම කරන දින කිහිපය දී නඩු විභාගය පවත්වා අවසන් කිරීමට කටයුතු කරන ලෙසය.

මෙය විශේෂ නඩුකරයක් වන බැවින් ඉක්මන් නඩු විභාගයක් සඳහා අගවිනිසුරුවරයා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කළ බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයේ දී ප්‍රකාශ කළේය.

මේ වනවිටත් මෙම නඩුවේ විත්තිකරුවන්ගෙන් දෙදෙනකු නඩුවට ඇතුළත්ව නොමැති බවත්, ඉන් එක් විත්තිකරුවකු විදේශ රටකට පැනගොස් ඇති අතර අනෙක් විත්තිකරු පදිංචි ස්ථානයෙන් පැනගොස් ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

මේ තත්ත්වය යටතේ රක්ෂිත භාරයේ සිටින විත්තිකරුවන්ට ඇප නියම කළහොත් ඔවුන් නඩු විභාගයට බලපෑම් කළ හැකි ඉඩ අවස්ථාව වැඩි බැවින් ඔවුන්ට ඇප දීම ප්‍රතික්ෂේප කරන ලෙස ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය නඩු විභාගය සඳහා කැඳවීම ලබන ජුලි මස 07 වැනිදා තෙක් කල් තැබීය.

‘‘ගෝඨා ගෝ ගම’’ හා ‘‘මයිනා ගෝ ගමට’’ මැර ප්‍රහාරයක් එල්ලවූ ඉකුත් 2022 මැයි මස 09 වැනිදා පස්වරුවේ දී නිට්ටඹුව නගරයේ ඇතිවූ මහජන නොසන්සුන්තාවක දී පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා වූ පොලිස් සැරයන් අහංගම විතාරනලාගේ ජයන්ත ගුණවර්ධන යන දෙදෙනා ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා 14ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා නගනු ලැබ තිබිණි.

මෙම නඩුවට අදාළ විත්තිකරුවන් 42 දෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබූ අතර, පසුව ඉන් සැකකරුවකු නිදහස් කර තවත් සැකකරුවන් පස්දෙනකු ඇප මත මුදා හැර ඇත. එමෙන්ම තවත් සැකකරුවන් දෙදෙනකු බන්ධනාගාරය තුළ දී මියගොස් තිබේ.