අපරාධයකට ආ හයක් කඩු-බෝම්බ සමඟ මාට්ටු


(කේ. බුද්ධික කුමාරසිරි)

මුල්ලේරියාව කැලණි නදී මාවත හන්දියේ නවතා තබූ සැක කටයුතු ත්‍රිරෝද රථයක තිබී ලේ තැවරුණු කඩු තුනක් යකඩ පොල්ලක් මන්නයක් ජීව අත් බෝම්බ දෙකක් සමගින් සැකකරුවන් හය දෙනෙකු අත් අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි.

මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට අදාල ත්‍රීරෝද රථය පිළිබදව සැක සිතී සිදුකල පරීක්ෂාවේදී මෙම ආයුධ හමු වී ඇති අතර අදාල ත්‍රීරෝද රථයෙහි  පුද්ගලයින් හය දෙනෙක් ගමන් කර තිබූ බවද පොලිසිය පවසයි.

එම පොලිස් නිළධාරීන් දෙදෙනා විසින් අනෙකුත් පොලිස් නිලධාරීන් වෙත දුරකථන ඇමතුමක් ලබාදී  ගෙන්වාගෙන එම පුද්ගලයින්ව සිදුකල පරීක්ෂාවේදී ඔවුන්ගේ ශරීරයේ සගවා ගෙන තිබූ
ජීව අත් බෝම්බ දෙකක් සහ ජංගම දුරකථන හයක් අත්අඩංගුවට ගත් බවද මුල්ලේරියාව පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.

පසුව සිදුකල විමර්ශණයේදී  පොලිස් හදිසි ඇමතුම් අංකය වන" 119 "අංකයට දුරකථන ඇමතුමක් මත පිංතාලිය හන්දියේ බට කැටියේ පටුමගේ පිරිසක් පැමිණ  අනවසරයෙන් ඇතුළු වී නිවසක සිටි පුද්ගලයකු ඝාතනය කිරීමට පැමිණ ඇති බවත් එම අදාළ පුද්ගලයා නිවසේ නොසිටි බැවින් ඔහුගේ පියාට බරපතල තුවාල සිදුකර නිවසටද දැඩි ලෙස අලාභ හානි කර ඇති අතර  පියා බරපතල තුවාල සහිතව මුල්ලේරියාව මූලික රෝහලට ඇතුළත් කර තිබූ බවත් අනාවරණය වී ඇත