(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වුණු සියලු රාජ්‍ය සේවකයන්ට 9 වැනිදා සිට තමා ඡන්දය ඉල්ලන බල ප්‍රදේශයෙන් පිට ආයතනවල රාජකාරි කිරීමට අවස්ථාව සැලසීමට රජය තීරණය කර ඇත.
මෙයට අදාළ චක්‍රලේඛය හෙට (8) නිකුත් කෙරෙන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පසුගියදා හිමිවිය. පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයන්ට ඔවුන් මෙසේ ඉදිරිපත් වන ඡන්ද බල ප්‍රදේශයෙන් පිටත බල ප්‍රදේශයකට අයත් ආයතනවල රැකියාව කිරීමට අවස්ථාව සැලසෙන චක්‍රලේඛය නිකුත් කිරීමට තීරණය කෙරුණේ ඉන් අනතුරුවය.
මෙම චක්‍රලේඛය සකසා මැතිවරණ කොමිෂන් සභාවට යොමු කර ඇති හෙයින් එහි අනුමැතිය ලැබුණු පසු චක්‍රලේඛය හෙට (8) නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපස සිටින රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව 3000කට ආසන්නය.
මැතිවරණ නීතිය අනුව රාජ්‍ය සේවකයන්ට ඔවුන් ඡන්දය ඉල්ලන බල ප්‍රදේශයේ ආයතනවල රැකියාව කිරීම තහනම්ය.
එසේ තහනම් කර ඇත්තේ එමගින් ඔවුනට ඡන්ද දායකයාට බලපෑම් කිරීමට අවස්ථාව සැලසෙන නිසායැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයන්ට ඒ මැතිවරණය කල් ගොස් ඇති තත්වය හමුවේ වැටුප් ගෙවීමට කටයුතු කරන්නැයි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රැසක් පාර්ලිමේන්තුවේදී පසුගියදා රජයෙන් ඉල්ලීමක් කළහ.

