'ශ්‍රී ලංකාවේ විදේශ විනිමය තත්ත්වය ගැන පාර්ලිමේන්තුවට ලබා ‌දෙන්න '


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකාව සතුව දැනට පවතින විදේශ විනිමය තත්ත්වය පාර්ලිමේන්තුවට ලබා දෙන්නැයි හිටපු අග්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා (එජාප) පාර්ලිමේන්තුවේදී අද (29) පැවසීය.

ශ්‍රී ලංකාව සතු විදේශ විනිමය ප්‍රමාණය අඩු වුවහොත් ඉදිරියේදී විදුලිය කප්පාදුවක් කරන්නට සිදුවනු ඇති බව කී රනිල් වික්‍රමසිංහ මහතා එසේ වුවහොත් ගන්නා පියවර ගැන ආණ්ඩුව ප්‍රකාශයක් කළ යුතුව ඇතැයි ද සඳහන් කළේය.

ගිය සිකුරාදා වොෂින්ටන් හි මූල්‍ය අරමුදලට යැවූ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය තත්ත්වය පාර්ලිමේන්තුවටත් ලබා දෙන්නැයි කී රනිල් වික්‍රමසිංහ මහතා දැනට තිබෙන මුදල් සහ රත්‍රන්  වටිනාකම වෙන වෙනම ලබාදෙන ලෙසද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ බලශක්තිය ගැන තීරණය කළ යුත්තේ තිබෙන විදේශ විනිමය තත්ත්වය මත බව කී වික්‍රමසිංහ මහතා මුදල් නැති නම් අනිවාර්යයෙන්ම විදුලි කප්පාදුවක් විය හැකි යැයි ද එසේ වුවහොත් කර්මාන්ත ශාලා කටයුතු පවත්වා ගනිමින්  ආර්ථිකය ගෙන යන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.