‘ලසන්ත’ ඝාතනයට ගෝඨාට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක නඩුවක්


මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන්  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව  ඇමෙරිකානු අධිකරණයක  නඩුවක් ගොනු කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.
 
 කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයේ  සිවිල් නඩුවක් ලෙසින් මෙම නඩුව ගොනු කර ඇතැයි  වාර්තා වේ.
 
ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග මෙනවිය විසින් මෙම නඩුව ගොනු කර ඇත.
 
වික්‍රමතුංග මහතාගේ  ඝාතනය සිද්ධියට  ගෝඨාභය  රාජපක්ෂ මහතා වගකිව යුතු බවත්  මේ  සම්බන්ධයෙන් වන්දි මුදලක් ගෙවන  ලෙසත්  ඇය නඩුව ගොනු කරමින් ඉල්ලා ඇතැයි සඳහන්ය.
 
ගෝඨාභය රාජපක්ෂ මහතා  ඇමෙරිකාවේ  සිය පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා මේ වන විට සුදානම් වන අතර ඔහු මේ දිනවල ඇමෙරිකාවේ සිටින බවද ආරංචි මාර්ග පවසයි.