​අපි දැන් අභියෝග ජයගෙනද?


ශ්‍රී ලංකා ඉතිහාසයේ මුහුණ දුන් ගැඹුරු සහ අභියෝගාත්මක ආර්ථික අර්බුදයෙන් ක්‍රමිකව නිදහස් වෙමින් පවතින බව පැහැදිලිය. රජය හඳුන්වා දුන් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල මේ වන විට ලැබෙමින් පවතින බව පෙනී යයි. විශේෂයෙන්ම එම ප්‍රතිපත්ති දැඩි පීඩන තත්වයක් යටතේ ක්‍රියාත්මක වුවත්, මේ වනවිට යම් ප්‍රතිඵල අත්පත් කරදී ඇත. ආර්ථිකය යම් යථාවත් බවක් පෙන්වමින් පවතින බවට වන කරුණු සාධක ගණනාවක් පවතී. විශේෂයෙන් නිල විදේශ සංචිතය ඩොලර් බිලියන 6 ඉක්මවා ඇති අතර විදේශ විනිමය අනුපාතය ද ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යා හැකි වී ඇත.

එසේම අපනයන ආදායම වර්ධනය වී මේ වනවිට එය ඩොලර් බිලියන 10 ඉක්මවා ඇත. සංචාරක ආදායම ඩොලර් බිලියන 2 දක්වා සහ විදේශීය ශ්‍රමිකයන්ගෙන් ප්‍රේෂණ ලෙස ඩොලර් බිලියන 4 මේ වසර තුළ මේ වනවිට ලැබී ඇත. මෙවැනි පසුබිමක් යටතේ ආර්ථිකය යම් ස්ථාවර වීමක් පෙන් වුව ද තවදුරටත් අභියෝගාත්මක කරුණු කිහිපයකට මුහුණ දීමට සිදුව තිබේ. මෙවන් අභියෝගාත්මක වටපිටාවක් මත ජාතික ජන බලවේගය නව රජය තම 2026 වර්ෂයට අදාළ අයවැය සකස් කිරීම සඳහා ක්‍රියාමාර්ග සහ යෝජනා සකස් කරමින් පවතී. නොවැම්බර් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිත මෙම අයවැය, ආර්ථික ස්ථායිකරණයෙන් පිටවී, පුළුල් සහ කල් පවත්නා ආර්ථික වර්ධනයක් ලබා දීමට උපකාරී වන ලෙස නව ආර්ථික වැඩපිළිවෙළක් මෙවර අයවැය මගින් හඳුන්වා දීම අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම වත්මන් රජයේ ආර්ථික දිශානතියට අනුව නව අයවැය මගින් නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම සහ ජාතික ආර්ථිකයට සම්බන්ධ නොවූ ප්‍රජාව සක්‍රීයව එක් කිරීමේ උපාය මාර්ග හඳුන්වා දෙනු ඇත. එමෙන්ම, ආර්ථිකය ශක්තිමත් වීමේ වැඩසටහනට සමගාමීව, අල්ලස් සහ දූෂණ අවම කිරීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට නව රජය වැඩි අවධානයක් යොමු කර ඇත. මෙවැනි පසුබිමක, 2026 වර්ෂයට නියමිත අයවැය මගින් ඉදිරිපත් විය හැකි ආර්ථික ප්‍රතිසංස්කරණ සහ වැඩපිළිවෙළ පිළිබඳව කරුණු විමසා බැලීම මෙම ලිපිය මගින් අරමුණු කෙරේ.

ඉදිරි වර්ෂය සඳහා අයවැය යෝජනා සකස් විය යුතු ආකාරය සාකච්ඡා කිරීමට පෙර, මේ වන රට මුහුණ දෙන අභියෝගාත්මක ආර්ථික පසුබිම කෙටියෙන් හෝ හඳුනා ගැනීම වැදගත්ය. පසුගිය වසර කිහිපය තුළ, ආර්ථික බිඳවැටීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ භාණ්ඩාගාරය මූල්‍ය පාලන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර ඇත. ආනයන සීමා, ආනයන තහනම් සහ ඉහළ බදු අනුපාත හඳුන්වාදීමෙන් ආර්ථිකයේ ඉල්ලු‍ම පාලනය කිරීමට උත්සාහ කළ අතර ඒ මගින් දැඩි අගාධයට යාම පාලනය කර ආර්ථිකය යම් ස්ථාවරතාවකට පත් කර ඇත. එහෙත් මෙම තත්වය සමාජයට කිසියම් අසහනකාරී බලපෑම් ඇතිකර ඇත. උදාහරණයක් ලෙස, මෑතක දී මානව හිමිකම් කොමිසම වාර්තා කරන්නේ, ශ්‍රී ලංකාවේ මන්ද පෝෂණය දරුවන්ගෙන් සියයට 17 දක්වා ඉහළ ගොස් ඇති අතර දුගීභාවය සියයට 24 දක්වා පවතින බවයි. පවුල් ලක්ෂ 16 කට අවශ්‍ය පෝෂණ ආහාර නොලැබීම ද වාර්තා වී ඇති අතර, විරැකියා මට්ටම ද සැලකිල්ලට ගත යුතු ලෙස ඉහළම අගයක පවතින බව පැහැදිලිය. මෙවැනි පසුබිමක් යටතේ, තිරසාර ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා වේගවත් ආර්ථික වර්ධනයක් අත්‍යවශ්‍ය වේ. නව අයවැය මගින් ප්‍රමුඛ කාර්ය ලෙස අරමුණු වන්නේ, ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දී, වේගවත් ආර්ථික වර්ධනයක් සහ ශක්තිමත් ආර්ථිකය ලබා දීමයි. වර්තමාන රජයේ ආර්ථික ප්‍රතිපත්තිය විශ්ලේෂණය කිරීමේ දී, ධනේශ්වර ආර්ථික මොඩලය හරහා සාධනීය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් ආර්ථිකය තිරසාර ගමනකට ගෙන යාමට උත්සාහ කරන බව පැහැදිලිව පෙනේ.

ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයේ ප්‍රධාන කරුණක් වන්නේ ඉහළ ණය ප්‍රමාණයයි. මෙහි දී, විදේශීය ණය ඩොලර් බිලියන 40 ඉක්මවා ඇති අතර, දේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 60 ඉක්මවන බව වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකර ගත් එකඟතා අනුව, ශ්‍රී ලංකාව දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කර ඇත. විශේෂයෙන්, විදේශීය ණය අතරතුරින් ඇති ද්වීපාර්ශ්ව සහ වාණිජ ණය සාර්ථක ලෙස ණය ප්‍රතිව්‍යුහගත කර ඇත. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව ඉදිරියට විදේශීය ණය ගෙවීම් ආරම්භ කිරීමට එකඟ වී ඇත. මෙවැනි පසුබිමක, 2028 වර්ෂය වන විට විදේශීය ණය ගෙවීමට හැකි පරිදි ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්, රටේ නිල විදේශීය සංචිතය මේ වන විට ඩොලර් බිලියන 6 ක් පමණ වේ. 2028 වර්ෂය වන විට මෙම සංචිත ඩොලර් බිලියන 15 ක් දක්වා වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය වේ. එය පහසු කාර්යයක් නොවන අතර, ආර්ථිකය තිරසාර ලෙස පවත්වා ගැනීම සඳහා මෙම අභියෝගය ජය ගැනීම අත්‍යවශ්‍යය.

ආර්ථිකය තිරසාර ලෙස පවත්වාගෙන යාමට තවත් වැදගත් අභියෝගයක් වන්නේ පාඩු ලබන රාජ්‍ය ආයතන සහ විශේෂයෙන් රාජ්‍ය හිමිකාරී ව්‍යාපාරවල කාර්ය සාධනය සහ ඵලදායීතාව වර්ධනය කිරීමයි. මේ ආයතන රාජ්‍ය අයවැයට දැඩි බලපෑම් ඇති කරමින් පවතින අතර විශේෂයෙන් ශ්‍රී ලංකන් ගුවන්සේවය, විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි ආයතන මූල්‍ය බරක් වශයෙන් කටයුතු කරයි. මෙම ආයතන ප්‍රතිසංස්කරණය හෝ ප්‍රතිව්‍යුහගත කිරීම ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළකට උපකාරී වේ. ඒ සඳහා රාජ්‍ය ආයතන තුළ දේශපාලන බලපෑම් නිසා නිලධාරීන්ගේ අකාර්යක්ෂමතා නිවැරැදි කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම ද අත්‍යවශ්‍යය. මෙවැනි ප්‍රතිසංස්කරණ සඳහා වන යෝජනා මෙවර අයවැය මගින් හඳුන්වා දිය යුතුම ය.

ආර්ථිකය තිරසාර ලෙස පවත්වා ගැනීමට තවත් වැදගත් අභියෝගයක් වන්නේ අපනයන විවිධාංගීකරණය අවම වීමයි. මෑත වාර්තා පෙන්වන්නේ, ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රධාන වශයෙන් ඇමෙරිකාව, කැනඩා, යුරෝපා සංගමය සහ දකුණු ආසියාවේ සමහර රටවල් වෙත පමණක් යොමුවී ඇති බවයි. මෙම තත්වය යහපත් නොවන අතර, විශේෂයෙන්ම ඇමෙරිකානු තීරු බදු ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර භූ දේශපාලන ගැටලු‍ ශ්‍රී ලංකා අපනයන වෙළෙඳාමට අභියෝගයක් බවට පත්ව ඇත. එබැවින්, අපනයන විවිධාංගීකරණය කිරීම සහ අලු‍ත් වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීම අත්‍යවශ්‍ය කරුණක් බව පැහැදිලිය.

මෙවන් අභියෝගාත්මක වාතාවරණයක ආර්ථිකය තිරසාර ලෙස පවත්වා ගැනීමට ආර්ථික වර්ධනය සහ යථාවත් කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනයට වැඩි අවධානය යොමු කිරීම ද මෙවර අයවැය මගින් අපේක්ෂා කෙරේ. එමෙන්ම, බදු ප්‍රතිසංස්කරණ මගින් රාජ්‍ය ආදායම් ක්‍රමිකව වර්ධනය වුව ද, ආර්ථිකය පවත්වා ගැනීමට පමණක් බදු ප්‍රතිශත ඉහළ දැමීම ප්‍රමාණවත් නොවේ. ඒ වෙනුවට, රටේ සමස්ත නිෂ්පාදනය වැඩි කිරීම සහ ආර්ථික වර්ධනයේ වේගය ඉහළ දැමීම මගින් රජයේ බදු ආදායම පුළුල් කර ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙවැනි ක්‍රියාමාර්ග මගින් ආර්ථිකය ශක්තිමත් කර, තිරසාර ආර්ථික වර්ධනයක් සඳහා අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමට හැකි වේ. ශ්‍රී ලංකාවේ පවතින දූෂණ සහ අක්‍රමිකතා පාලනය සඳහා ඒවාට සම්බන්ධ දේශපාලනඥයන්ට සහ නිලධාරීන්ට දඬුවම් කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. දූෂණ සහ අක්‍රමිකතා අවම කිරීම සඳහා ආර්ථික පරිසරය තුළ ආරක්ෂිත පද්ධති සහ අවශ්‍ය පරිසරය සැකසීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා ඩිජිටල් පරිවර්තනයක අවශ්‍යතාව කැපී පෙනේ. විශේෂයෙන්ම, රාජ්‍ය ආයතන තුළ වාර්තා වන විවිධ දූෂණ ක්‍රියා පාලනය කිරීම සහ එම ක්‍රියාකාරකම් මගින් අනාගත දූෂණ අවම කිරීම කළ හැකිය. පසුගිය කාලවකවානුවේ සිදු වූ දූෂණ සහ අක්‍රමිකතා සඳහා පමණක් දඬුවම් කිරීම මගින් මෙය පාලනය කළ නොහැකි බව පැහැදිලි වේ.

ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ මෑතක දී ප්‍රකාශයට පත් කළ වාර්තාවට අනුව, ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාවේ පසුගාමී ජනකොටස් දැඩි ලෙස බලපෑම් විඳින කණ්ඩායමක් ලෙස හඳුනාගෙන ඇත. මෙම වාර්තා මගින් සමාජ ආරක්ෂණ ජාල පුළුල් කිරීමේ අවශ්‍යතාව තහවුරු කරයි. එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය ආයතන වාර්තා ද ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ ජාල තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම සහ පුළුල් වැඩපිළිවෙළක් හඳුන්වාදීමේ අවශ්‍යතාව පෙන්වයි. විශේෂයෙන්ම, සමාජ ආරක්ෂණ ජාලයට සම්බන්ධ කළ යුතු ජන කොටස් නිවැරැදිව හඳුනාගෙන, ඔවුන්ට අවශ්‍ය සහය ලබාදීම අත්‍යවශ්‍ය වේ. එසේ නොකළහොත්, ඉදිරි කාල පරිච්ඡේදයේ දී මෙම ක්‍රියාමාර්ග දේශපාලනික අභියෝගයක් බවට පත් විය හැකිය. මෙවර අයවැය මගින් හඳුන්වා දීමට නියමිත වැඩසටහන් අතර, ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සංවර්ධන විෂමතා අවම කිරීම විශේෂ අවධානයට ලක්විය යුතුයි. විශේෂයෙන්, බස්නාහිර පළාත සහ අනෙකුත් පළාත් අතර පවතින දැඩි සමාජ-ආර්ථික විෂමතා අඩුකිරීම අත්‍යවශ්‍යවේ. මෙම අරමුණ සඳහා සංචාරක ව්‍යාපාර, අපනයන ක්ෂේත්‍ර සහ කර්මාන්ත කටයුතු වැනි ආර්ථික ක්ෂේත්‍රවලට යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් අයවැයෙන් යෝජනා ඉදිරිපත් වීම අපේක්ෂා කෙරේ. එසේම රජයට ඉදිරිපත් වන ප්‍රධාන චෝදනාවක් වනුයේ, ආර්ථික ස්ථායිකරණය සාර්ථක වුවත්, කිසිදු ප්‍රාදේශීය සංවර්ධන කටයුත්තක් මේ වන තෙක් ආරම්භ වී නොමැති බවයි. එබැවින් ඒ පිළිබඳව නිසි වැඩපිළිවෙළක් යටතේ සංවර්ධන ක්‍රියාමාර්ග නොපමාව ආරම්භ කිරීම අත්‍යවශ්‍ය වේ.

2026 වසරේ රාජ්‍ය අයවැය යෝජනා අතර ඉහත සඳහන් ක්ෂේත්‍රවල රජය විශේෂ අවධානය යොමුවනු ඇති බව අපේක්ෂා කළ හැකිය. ආර්ථිකය වේගවත් හා සඵල වර්ධනයකට යොමු කිරීමට, යෝජිත ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. නාස්තිය සහ දූෂණය අවම කිරීම වැදගත් වුවත් ඒ මගින් පමණක් ආර්ථික වර්ධනය හා සංවර්ධනය අත්පත් කරගත නොහැකිය. ඒ සඳහා පුළුල් ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. එබැවින්, දැනට ක්‍රියාත්මක යහපත් ආර්ථික ප්‍රතිසංස්කරණ නිරන්තරයෙන් පවත්වාගෙන යාමත් මෙතෙක් ප්‍රමාද වූ ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීමත් ස්ථාවර ආර්ථික සංවර්ධනයක් සඳහා ප්‍රමුඛ අවශ්‍යතා වේ. එසේ කිරීමට රජය අපොහොසත් වුවහොත්, ඉදිරි කාලයේ දී අභියෝගාත්මක තත්වයට මුහුණ දීමට සිදු වන අතර එය නව රජයට දේශපාලනික අභියෝගයක් බවට පත් වීම ද නොවැළැක්විය හැකි වනු ඇත.

(***)