චීන සමාගමේ සියයට 40 ක ඉල්ලීමට රජය බෑ කියයි
- සියයට 20 සීමාවට වැඩියෙන් දෙන්න ආයෝජන මණ්ඩල පනත හරහට
උපුල් වික්‍රමසිංහ
ශ්‍රී ලංකාවට ලැබුණු විශාලතම සෘජු විදෙස් ආයෝජනය වන හම්බන්තොට පිහිටුවීමට ගිවිසුම්ගත ඩොලර් බිලියන 3.7 ක් වටිනා තෙල් පිරිපහදුවෙන් නිපදවන ඛනිජ තෙල්වලින් සියයට 40 ක් දේශීය වෙළෙඳපොළේ අලෙවි කිරීමට චීනයේ සයිනොපෙක් සමාගම කර ඇති ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කර ඇතැයි දැනගන්නට ලැබේ.
ගිවිසුම ප්‍රකාරව අනුමතිය හිමි වී ඇති සියයට 20 ඉක්මවා එම ප්‍රමාණය මෙන් දෙගුණයක නිෂ්පාදන වෙළෙඳපොළේ අලෙවි කිරීමට සමාගම කර ඇති ඉල්ලීම ඉටු කිරීම අපහසු බව රජය දන්වා ඇතැයි ද කෙසේ වෙතත් සියයට 20 ට වඩා සුළු ප්‍රතිශතයකින් එම ප්‍රමාණය ඉහළ දැමීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව රජය දන්වා ඇතැයි ද වාර්තා වේ. බොහෝ විට සියයට 25 ක් දක්වා එම ගිවිසුම්ගත ප්‍රතිශතය ඉහළ නැංවිය හැකි ද යන්න රජයේ අවධානයට ලක්ව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් ඉරිදා ලංකාදීපයට වාර්තා වෙයි.
ආයෝජන මණ්ඩල පනත අනුව මෙරට ආයෝජන කලාපවල ඉදිකරන කර්මාන්තශාලාවලින් නිෂ්පාදනය කරන නිෂ්පාදනවලින් දේශීය වෙළෙඳපොළට නිකුත් කිරීමට අවසර ලැබෙන්නේ සියයට 20 ක් පමණක් වුව ද හම්බන්තොට තෙල් පිරිපහදුවෙන් නිපදවන තෙල්වලින් සියයට 40 ක ප්‍රමාණයක් දේශීය වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමට අදාළ චීන ආයෝජක සමාගම කර ඇති ඉල්ලීම එම පනතේ නියමයන්ට පටහැණි බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
අප මේ සම්බන්ධ නීතිමය තත්ත්වය විමසීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරියකු සම්බන්ධ කරගත් අතර ඔහු ප්‍රකාශ කළේ ආයෝජන මණ්ඩල පනත අනුව ඕනෑම කර්මාන්තකරුවකු නිපදවන නිෂ්පාදනවලින් සියයට 80 ක් අපනයනය කළ යුතු බවත් ඉතිරි සියයට 20 දේශීය වෙළෙඳපොළ වෙත නිකුත් කිරීම සඳහා අවසර ලැබෙන බවත් ය.
එම පිරිපහදුවෙන් නිපදවන ඛනිජ ද්‍රව්‍ය සියයට 40 ක ප්‍රමාණයක් දේශීය වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමට අදාළ චීන සමාගමට අවසර ලබා දුනහොත් එයින් මෙරට බලශක්ති ස්වාධීනතාවට ගැටලු මතු වෙතැයි ද එයත් රජයේ අවධානයට ලක්ව ඇතැයි ද පැවසේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මේ වසරේ ජනවාරිවල දී චීනයේ කළ රාජ්‍යතාන්ත්‍රික සංචාරයේ දී අදාළ තෙල් පිරිපහදුව ඉදිකිරීම සඳහා වන ගිවිසුමට අත්සන් තැබිණ.
මේ අතර මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට චීනයේ සයිනොපෙක් සමාගමේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අතර සාකච්ඡාවක් පසුගිය 15 වැනිදා පැවැත්වුණු අතර එහිදී එම නිලධාරීන් අමාත්‍යවරයාට පවසා ඇත්තේ පිරිපහදුවේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව ය. මේ වසර ඇතුළත පිරිපහදුවේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ඇතැයි රජයේ අපේක්ෂාව බව එහිදී අමාත්‍යවරයා සමාගමේ නියෝජිතයන්ට දන්වා ඇති බව ද වාර්තා වෙයි.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැනට පවතින ගැටලු කඩිනමින් විසඳීමට තමා මැදිහත් වෙන බව ද එහිදී විදේශ අමාත්‍යවරයා නියෝජිත පිරිසට දැනුම් දුන් බව එම අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයෙහි දැක්වේ.