(කේ. බුද්ධික කුමාරසිරි)

මත්ද්‍රව්‍ය චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන සිර මැදිරියෙහි රදවා ගෙන සිටි තරුණයකු  මිය යාම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා නොවැම්බර් මස 12 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස හෝමගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (29) දින නියෝග කළාය.

එමෙන්ම එදිනට සැකකරු හදුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළාය.

මෙලෙස රිමාන්ඩ්  ගත කරන ලද්දේ හෝමගම මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ලෙස රාජකාරී කළ රජිත ගුරුසිංහ නැමැත්තෙකි.

සුළු තුවාල සහ බරපතළ තුවාල සිදු කිරීම, අයුතු සිරගත කිරීම, අසත්‍ය සටහන් යෙදීම ආදී චෝදනා පහක් යටතේ කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය මගින් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

එහිදී අදාල සැකකරු බන්ධනාගාර ගත කරන ලෙසත් සැකකරුට ඇප ලැබී පිටතට ගියහොත් සැකකරුගේ ජීව්තයට බලපෑමක් විය හැකි බවද මහජන කැලඹීමක් ඇති විය හැකි බවද සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.