(ගයාන් සූරිය ආරච්චි)
හෝමාගම මූලස්ථාන පොලිස් සිරමැදිරියේ සිටියදී හදිසි අසනීප තත්වයක් මත රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය ඉෂාර හර්ෂණ කුමාර නැමැත්තාට අපරාධ විමර්ශන අංශය තුළදී කිසියම් පහරදීමක් සිදුව ඇති බවට තොරතුරු ලැබෙමින් පවතින අතර පහරදීමක් සිදුව ඇති බව බැහැර කළ නොහැකි බව බස්නාහිර පළාත් බාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ බත්තරමුල්ල සුහුරුපාය පොලිස් මාධ්ය කොට්ඨාසයේ අච පැවති මාධ්ය හමුවකට එක්වෙමිනි.
මෙම තරුණයා ඉකුත් 25 වෙනිදා අත්අඩංගුවට ගෙන තිබූ අතර ඊට පෙර දින එනම් ඉකුත් 24 වැනි දින දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් මත ඔහු පහර කෑමට ලක්ව හෝමාගම රෝහලේ පැය කීපයක් ප්රතිකාර ලබා ඇති බව පැවැසූ මැදවත්ත මහතා කියා සිටියේ ඔහු වෛද්ය නිර්දේශ නොමැතිව රෝහලෙන් පැන ගොස් ඇති බවය.
ඔහු පහර කෑමට ලක්ව රෝහල්ගතවීමේදී යතුරුපැදියෙන් වැටී තුවාල ලැබූ බවට රෝහලට දන්වා ඇති බවද පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව මැදවත්ත මහතා කීවේය.
එම ඉෂාර හර්ෂණ නැමැත්තාට ඉකුත් 24 වැනි දින පහර දුන් බව කිය පුද්ගලයන් සහ පොලිසිය තුළදී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශනයක් සිදු කෙරෙමින් පවතින බවද මැදවත්ත මහතා කියා සිටියේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසි ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරෙන බවත් එමගින් අනාවරණය වන තොරතුරු අනුව ඉදිරි නීතිමය පියවර ගන්නා බවද කීය.
දැනට ඇති තොරතුරු අනුව මියගිය පුද්ගලයා මත්ද්රව්ය භාවිතා කරන පුද්ගලයකු වන අතර ඔහු අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ රඳවා තැබියදී යම්කිසි සංකූලතා පෙන්වීම හේතුවෙන් ඔහු රෝහල් ගත කිරීමට පොලිසිය පියවර ගෙන තිබූ බව පැවසූ ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා කියා සිටියේ ඉකුත් 24 වැනි දින පහරදී ඇති සැකකරුවන් ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරන බවය.
මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේදී නීතිමය කටයුතු නිසි පරිදි සිදුකර නොමැති අතර සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීමේදී ඔහුගේ ශාරීරික තත්ත්වය සටහන් කළ යුතු අතර ඥාතීන්ට දැනුම් දීම සිදු කළ යුතු බව කී මැදවත්ත මහතා එම කටයුතු නිසි පරිදි සිදුව නොමැති බවද කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd