විදේස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට - සාකච්ඡා කරන බව රජය කියයි


යොහාන් භාසුර

ශ්‍රී ලංකාවේ ඉන්ධන අලෙවි කරන විදේශීය සමාගම් තුන ඉන්ධන මිල ඉහළ දැමීමට කර ඇති ඉල්ලීමට බලශක්ති අමාත්‍යාංශය කිසිදු සාධනීය  ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා උද්ගත වී ඇති තත්ත්වය රාජ්‍යතාන්ත්‍රික ගැටලු‍වක් බවට වර්ධනය වී ඇතැයි වාර්තා වේ.

ඉන්දියාවේ ප්‍රධානම ඉන්ධන සමාගමේ ශාඛාවක් වන ලංකා ඉන්දියන් ඔයිල් සමාගම, චීනයේ ප්‍රධානම ඉන්ධන සමාගමක් වන සයිනොපෙක් සහ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රන්තයේ ප්‍රධාන ඉන්ධන සමාගමක් වන ආර්.එම්. පාර්ක් යන සමාගම් මීට සති දෙකකට පමණ පෙර ඩීසල් මිල ඉහළ දමන ලෙස බලශක්ති අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණි. 

ඉන්දියන් ඔයිල් සමාගම සහ සයිනොපෙක් යන සමාගම් ඉන්ධන මිල සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව එම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇති බවත්, එම තානාපති කාර්යාල ඒ පිළිබඳව රජයෙන් විමසීමට සූදානම් වන බවත් වාර්තා වේ.  

එහිදී ඩීසල් ලීටරයකින් එම සමාගම් රුපියල් 170ක පාඩුවක් ලැබීම නිසා සැපයුම සීමාකරන බව රජයට ද දැනුම් දී තිබූ අතර, ඒ අනුව එම සමාගම් අද වන විට ඩීසල් සැපයුම සම්පූර්ණයෙන් අත්හිටුවා පෙට්‍රල් සැපයුම ද සීමාකර තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය මේ දක්වා ඉන්ධන මිල ඉහළ දැමීමට හෝ ඒ සඳහා වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයක් හඳුන්වාදීමට කටයුතු නොකිරීමෙන් තත්ත්වය බරපතළ වී ඇති අතර, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මීට දින දෙකකට පෙර පැවසුවේ, ගැටලු‍වට විසඳුමක් දීමට සාකච්ඡා කරමින් සිටින බවයි. 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්‍ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගෙන් මේ පිළිබඳව කළ විමසුමක දී පැවසුවේ ඉන්ධන මිල ඉහළ දැමීමට කිසිදු තීරණයක් මේ දක්වා ගෙන නොමැති බවත්, විදේශ සමාගම්වල ඉල්ලීම් පිළිබඳව බලශක්ති අමාත්‍යාංශය සාකච්ඡා කරමින් සිටින බවත් ය.

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්නගෙන් මේ පිළිබඳව කළ විමසුමක දී පැවසුවේ අදාළ විදේශ ඉන්ධන සමාගම් ඩීසල් සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බවත් පෙට්‍රල් සැපයුම ද සීමාකර ඇති බවත්ය.

කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඩීසල් අඛණ්ඩව බෙදාහැරීම නිසා කොළඹ සහ අවට ප්‍රද්ශවල ඩීසල් හිඟයක් නොමැති බවත්, ඇතැම් ප්‍රදේශවල සිපෙට්කෝ පිරවුම්හල් නොමැතිවීමෙන් ජනතාවට කිලෝමීටර් ගණන් දුර යෑමට සිදුව ඇති බවත්, ඉන්ධන පිරවුම්හල් හිමියෝ පවසති.