මින්පසු අලුතින් ජාතික පාසල් නැහැ පර්ෂද පාසල් එයි


 

  • ජාතික පාසල් 1000 වැඩසටහනින් අලුතින් ඇති කර ඇත්තේ ජාතික පාසල් 23 ක් පමණයි
  • පර්ෂද පාසල් 1250 පිහිටුවීමට සැලසුමක්

චාමර සම්පත්

තවදුරටත් ජාතික පාසල් ස්ථාපනය නොකර ඒ වෙනුවට රට පුරා පර්ෂද පාසල් පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.


මේ යටතේ පර්ෂද පාසල් 1250 ක් රටපුරා පිහිටුවීමට සැලසුම් කර ඇත. ඒ අනුව ආසන්නයේ පිහිටි පාසල් සියල්ල පාසල් සමුහයක් ලෙස ක්‍රියාත්මක වෙන අතර  ඒ තුළ ප්‍රමුඛ පාසලක් සහ ඒ හා බැදුණු පාසල් ලෙස අනිකුත් පාසල් ක්‍රියාත්මක වේ.

ඒ අනුව ප්‍රාථමික පාසල් වල අධ්‍යාපනය හදාරන ළමුන් ශිෂ්‍යත්වයෙන් ප්‍රමුඛ පාසල් සඳහා යොමුකරන අතර  එසේ නොමැති ළමුන්ට 13 වසර දක්වා අඛණ්ඩ අධ්‍යාපනය හැදෑරිය හැකි ලෙස පාසල් වැඩිදියුණු කිරීමට මේ යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම්කර තිබේ.


ලබන වසරේ මුල් කාර්තුව වෙන විට පර්ෂද සංකල්පය ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා “ඉරිදා ලංකාදීප” පුවත්පතට පැවසීය.


“පාසල්  1000 ක් ජාතික පාසල් බවට පත්කිරීමේ” ව්‍යාපෘතියක් පසුගිය ආණ්ඩු යටතේ ක්‍රියාත්මක විය. මේ යටතේ පාසල් බොහොමයක් ජාතික පාසල් බවට පත්වු බවට නාමපුවරු වෙන්ස්කර තිබුණද අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ජාතික පාසල් බවට පත්කර ඇත්තේ පාසල් 23 ක් පමණි. තොරතුරු දැනගැනීමේ පනත යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබාගත් තොරතුරු විමර්ශනය කිරීමේදී අනාවරණය වුයේ 2020 න් පසුව පාසල් 23 ක් පමණක් ජාතික පාසල් බවට පත්කර ඇති බවයි. මේ වෙනවිට ජාතික පාසල් 396 ක් රටපුරා ක්‍රියාත්මක වෙන අතර අධ්‍යාපන අමාත්‍යාංශය හරහා පාලනය වෙන ජාතික පාසල් 1000 ක් ක්‍රියාත්මක කිරීම පරිපාලනමය වශයෙන් දුෂ්කර කාර්යයක් බව අධ්‍යාපන අමාත්‍යාංශය හදුනාගෙන තිබේ. ඒ අනුව ඉදිරියට අලු‍තෙන් ජාතික පාසල් හදුන්වාදීම සිදු නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රතිපත්ති තීරණයකට එළඹ තිබේ.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් කළ විමසීමේදී අමාත්‍යවරයා තවදුරටත් මෙසේ පැවසීය, 


“ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකට පාසල් තුන බැගින් ජාතික පාසල් 1000 ක් දක්වා වැඩි කරන්න මීට අවුරුදු දෙකකට කලින් යෝජනා කරලා තිබුණා.(ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ) . පළාත් සභාවල පාසල් තමයි එතකොට ජාතික පාසල් බවට පත්වෙන්නේ. එතකොට අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉඳන් පාසල් 1000 ක් පරිපාලනය කරන්න අපිට සිදුවෙනවා. ඒක ඉතාම දුෂ්කර වැඩක්. මේ වැඩේ කොයිතරම් දුරට ප්‍රායෝගිකද කියන ප්‍රශ්න ඇතිවුණා. 


ජාතික පාසල් ලෙස නම්කිරීමට තෝරාගත් පාසල්වලට මිලියන 02 ක බැගින් වෙන්කර තිබුණා. ඒ පාසල් වල ගේට්ටු හදන්න බෝඩ් ගහන්න ඒවා දැන් වියදම් කරලා ඉවරයි.  නමුත් දැනට තිබෙන පාසල් ප්‍රමාණය එලෙසම තියාගෙන වෙනත් අලු‍තින් කිසිදු පාසලක් ජාතික පාසලක් බවට පත්කර අමාත්‍යාංශය යටතට නොගෙන පළාත් සභා පරිපාලනය යටතේ තවදුරටත් තියාගන්න තීන්දුවක් අරගෙන තිබෙනවා. බෝඩ් එක විතරක් ගැහුවට විතරක් ජාතික වෙන්නේ නැහැ. මේ වැඩේ පාසල් පරිපාලනය පිළිබඳව අවබෝධයෙන් කරපු වැඩක් කියලා මම හිතන්නේ නැහැ.


කොහොම උනත් වර්තමානයේ තිබෙන පාසල් වර්ගීකරණය අපහැදිලියි. ඒ පිළිබඳව ප්‍රතිපත්ති තින්දුවක් ළගඳීම ගන්නවා. පාසල් පර්ෂද 1250 ක් රටපුරා හදනවා. ආසන්න පාසල් සමුහයක්‍ ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ තුළ ප්‍රමුඛ පාසලක් ඇතිවෙනවා. ඒ අනුව ප්‍රාථමිකයේ ළමුන් ශිෂ්‍යත්වයෙන් ඉහළට යනවා. එසේ නැති අයට 13 වසර දක්වා අඛණ්ඩ අධ්‍යාපනය තිබෙන පාසලක් ලබාදීම තමයි අපේ අපේක්ෂාව වෙන්නේ. ඊළග අවුරුද්දේ මුල වෙන විට පර්ෂද සංකල්පය ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තුවෙනවා. මේ තුළින් නගරය කරා ඇදීයන මානසිකත්වය නැතිකරන්න , ගුරු තුලනය කරන්න වගේම සම්පත් බෙදාගන්න පහසු වෙනවා.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.