පාස්කු චෝදනා නඩුවෙන් පූජිත - හේමසිරි නිදෙ‌ාස් කොට නිදහස්


 

(මනෝප්‍රිය ගුණසේකර)  

 

 

පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකළැයි චෝදනා ලැබ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල පෙරේදා (සිකුරාදා) තීරණය කළේය.  


නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳි සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම නඩුව විභාගයට ගැනුණි.   

විත්තිකරුවන් විසින් චේතනාන්විතවම මෙම අපරාධ කොට ඇති බවට පැමිණිල්ල විසින් ඔප්පුකොට නොමැති බව තීන්දු කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මේ සඳහා වගකිව යුත්තේ පැමිණිල්ලේ සාක්කිකරු වශයෙන් කැඳවනු ලැබූ රාජ්‍ය බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා බව තීන්දුවේ සඳහන් කළේය.   


මෙම අපරාධයට අදාළ සිද්ධිය වූ සමයේ පැවති රජයේ ගැටුම් තිබූ බවටත් ස්වාධීන තීරණ ගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා අසරණභාවයට පත්ව සිටි බවටත් පැමිණිල්ලේ සාක්කි මගින් අනාවරණය වන බව තීන්දු කළ විනිසුරු මඩුල්ල හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට ලැබුණු තොරතුරුවලට අනුව ඔහු ඒ සම්බන්ධයෙන් පියවර ගෙන ඇති බව පැමිණිල්ලේ සාක්කි මගින්ම තහවුරු වන බව වැඩිදුරටත් සින්දු කළේය.   


විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් වෙන වෙනම පවරා තිබූ නඩු දෙක වෙන වෙනම කැඳවනු ලැබූ විනිසුරු මඩුල්ල ඔවුන්ට එරෙහි නිදොස් කිරීමේ තීන්දු වෙන වෙනම කියවා දෙන ලදී.   


2019 අප්‍රේල් මස 09 වැනිදාත් 21 වැනිදාත් අතර කාලය තුළ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සහ පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරමින් පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එම ප්‍රහාර වළක්වා ගැනීමට කටයුතු නොකළ බවටත් විත්තිකරුවන්ගේ නීති විරෝධී කර හැරීම මත කතෝලික දේවස්ථාන හා තරු හෝටල් ඉලක්ක කර ගනිමින් මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වූ බවටත් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව වෙන වෙනම චෝදනා නගා තිබිණි.   


මේ සම්බන්ධයෙන් පැවති නඩුවේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 1216 දෙනකු නම් කොට තිබුණත් සාක්ෂි සඳහා කැඳවනු ලැබූයේ සාක්ෂිකරුවන් හතර දෙනකු පමණි.   


මුලින්ම හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සිදු කෙරින.   
ස්වයං ඝාතක බෝම්බකරුවන් එල්ලකළ මරාගෙන මැරෙන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් මියගිය හා තුවාල ලැබූ බවට කිසිදු හබ කිරීමක් නොමැති බව තීන්දු කළ විනිසුරු මඩුල්ල මෙහිදී මෙම විත්තිකරුවන් චේතනාන්විතවම එම ප්‍රහාරය එල්ල කිරීම සඳහා සහරාන් හසීම් ඇතුළු ස්වයං ඝාතකයින්ට ආධාර අනුබල දී ඇත්ද යන්න සලකා බැලිය යුතු බව සිය තීන්දුවේ සඳහන් කළේය.   


නීති විරෝධී පැහැර හැරීම සඳහා විත්තිකරුවන් චේතනාන්විතවම කටයුතු කොට ඇති බව පැමිණිල්ල විසින් ඔප්පු කළ යුතු බව නඩු තීන්දුවල සඳහන් වී ඇතැයි තීන්දු කළ විනිසුරු මඩුල්ල මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබූ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාට හෝ මෙම ප්‍රහාරය එල්ල කරනු ලබන්නේ පාස්කු ඉරිදා බවට ඔහුගේ මතකයේ තිබී නැති බව ඔහුගේ සාක්කිවලින්ම පැහැදිලි වන්නේ යැයි සඳහන් කළේය.