පුංචි ආණ්ඩුවල බලය ගන්න පොරයක් මන්ත්‍රීන් බිලිබාන්න රහස් සාකච්චා


සුජිත් හේවාජුලිගේ

පැහැදිලි බහුතරයක් නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ කිහිපයක් අනෙකුත් පක්ෂවල සභිකයන්ගේ සහාය ගැනීමේ රහසිගත සාකච්ඡා අරඹා ඇත. බලය පිහිටුවීමට සහාය දෙන්නේ නම් විවිධ වරප්‍රසාද හා වරදාන ලබාදීමටද ඒ ඒ පක්ෂවලට හිතවත් ව්‍යාපාරිකයන් ඇතුළු හිතවාදීන් දැනටමත් ඉදිරිපත්ව සිටින බව වාර්තාවේ.

ඇතැම් පක්ෂ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා නීති උපදෙස් ලබාගැනීමටද මේ දිනවල කටයුතු කරමින් සිටී. බලය පිහිටුවීමේදී යම් නීතිමය ගැටලු‍වක් මතුවුවහොත් අධිකරණයට යෑමටද පක්ෂ තීරණය කර ඇත.

මේ අතර ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙන්  දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇත.
ජාතික ජන බලවේගය දිනූ සභා එකසිය විස්සක එම බලවේගය දිනූ සභික ධුර සංඛ්‍යාවට වඩා වැඩි සභික ධුර සංඛ්‍යාවක් විපක්ෂය හිමිකරගෙන සිටීම සහ සභා විසි නවයක සභිකධුර සංඛ්‍යාව ජාතික ජන බලවේගයේ සභික ධුර සංඛ්‍යාවට සමාන වීම මෙම අර්බුදකාරී තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. 

මෙම සභාවලින් බොහොමයක ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද පාලන බලය පිහිටුවීමට කටයුතු කරමින් සිටින බව දැනගන්නට ඇත.

කොළඹ මහ නගර සභාව වෙනුවෙන් ජාතික ජන බලවේගයට සභික ධුර 48ක් හිමිව තිබිය දී විපක්ෂයට සභිකධුර 69ක් හිමිව ඇති හෙයින් ජාතික ජන බලවේගයත් සමගි ජන බලවේගයත් එහි පාලන බලය පිහිටුවීමට කටයුතු කරන බව දැනටමත් ප්‍රකාශ කර ඇත. 

මේ තත්ත්වය හේතුවෙන් එම සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන්ද දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇත. මේ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් කොළඹ  ඇතුළු  සෘජු තනි බලයක් නොමැති  සභාවන්හි පාලන බලය පිහිටුවීමට වැඩි කාලයක් ගත විය හැකි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.