කොළඹට වතුර දෙන කැලණි ගඟ දුෂිතයි ගඟ ගොඩගන්න කෝටි ගාණක මෙහෙයුමක්


  • වැඩිම කාර්මික අපද්‍රව්‍ය එකතු වෙන්නෙත් කැලණි ගඟට - මධ්‍යම පරිසර අධිකාරිය කියයි

උපුල් වික්‍රමසිංහ

කොළඹ නගරයේ පානීය ජල අවශ්‍යතාවෙන් සියයට 70 ක පමණ ප්‍රමාණයක් සපයනු ලබන කැලණි ගඟේ ජලය අවිස්සාවේල්ලේ සිට මෝදර දක්වා කොටසේ බොහෝ තැන්වලින් මිනිස් මළ ද්‍රව්‍යවලින් සහ කර්මාන්ත අප ජලයෙන් දූෂණය වී තිබෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආර්. එස්. පී. කපිල රාජපක්ෂ “ඉරිදා ලංකාදීප”යට පැවසීය.

කොළඹට වතුර දෙන කැලණි ගඟ....

කැලණි ගංගාවේ ජල දූෂණ තත්ත්ව කළමනාකරණය කිරීමට අදාළ ව්‍යාපෘති කිහිපයක් මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව කී ඔහු, ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (ජයිකා) රුපියල් මිලියන 650 ක මූල්‍යාධාර ඇතුව ජල තත්ත්ව පරීක්ෂණ දත්ත අඛණ්ඩව ලබාගත හැකි උපකරණ ගං ඉවුරේ සවි කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බවත්, එයින් ගංගාවේ ජල තත්ත්වය වෙනස් වන විට එහි දත්ත ලබාගත හැකි බවත් එමගින් ජලය දූෂණය වන්නේ කවර ස්ථානවලින් ද යන්න දැනගැනීමට හැකියාව ලැබෙන බවත්, ප්‍රකාශ කළේ ය.

වසර හතරක් ඇතුළත මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද කැලණි ගඟේ ජල දූෂණය අවම කිරීම සඳහා මහජන සහයෝගය ඉතාමත් වැදගත් බව ද ඔහු අවධාරණය කළේ ය.

ගං ඉවුර ආශ්‍රිතව ආරක්ෂිත ක්‍රමවේදවලින් තොරව ගඟට කසළ බැහැර කරන ස්ථාන ඇති බවත්, වැසිකිළි හා වෙනත් ව්‍යාපාරික ස්ථානවලින් බැහැර කරන අප ජලය කැලණි ගඟට එකතු වෙන ස්ථාන ද විශාල ප්‍රමාණයක් තිබෙන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. හෙතෙම මෙම කරුණු අනාවරණය කළේ කැලණි ගඟේ ජල දූෂණය පිළිබඳව යාවත්කාලීන වී ඇති තොරතුරු සම්බන්ධව අප කළ විමසීමට ප්‍රතිචාර වශයෙනි.

“මිනිස් මළපහවලින් ජලය දූෂණය වී ඇත්ද යන්න බලන්නෙ ජලයේ අඩංගු පොලිෆෝම් නමැති බැක්ටීරියාවෙන්. ජලයේ ඒ බැක්ටීරියා ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක තිබුණත් ජල පිරිපහදුවේදී ඉහළ ක්ලෝරීන් ප්‍රමාණයක් යෙදීම මගින් ඒ බැක්ටීරියා ප්‍රමාණය ඉවත් කරන්න පුළුවන්. නමුත් ජලයේ තියෙන බැරලෝහ සහ තවත් සාන්ද්‍රණ ඉතා කුඩා ප්‍රමාණයෙන් තියෙන්න පුළුවන් සහ අපිට ඒවා නිතර මනින්න බෑ. ඒවා එකතු වුණහම ඒවායෙ දීර්ඝ කාලීන බලපෑම පානීය ජලයට තියෙනවා. ඊට අමතරව ක්ෂුද්‍ර ප්ලාස්ටික් සැලකිය යුතු ප්‍රමාණයක් ජලයේ තියෙන බව වාර්තා වෙලා තියෙනවා. ඒවායෙනුත් ශාරීරික සහ සෞඛ්‍ය බලපෑම් ඇතිවෙන්න පුළුවන්” අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කළේ ය.

කාර්මික අපද්‍රව්‍ය වැඩියෙන් ම එකතු වන්නේ කැලණි ගඟට බව ද ගං ඉවුර ආශ්‍රිත ප්‍රදේශවල පිහිටා ඇති කර්මාන්තවලින් නිකුත් කරනු ලබන අප ජලය නිසා ජලයේ නියමිත වර්ණ තත්ත්ව වෙනස් වූ අවස්ථා නිරීක්ෂණය කර ඇති බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.

ගං ඉවුර ආශ්‍රිතව මේ වෙනවිට ස්ථාපනය කොට ඇති අනාරක්ෂිත ලෙස කසළ පුරවන ස්ථාන, කර්මාන්තශාලා, රථවාහන සේවා ස්ථාන සහ ගරාජ් වැනි ඒවා ක්‍රමානුකූලව එම ස්ථානවලින් ඉවත් කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම සම්බන්ධව ඒ ඒ පළාත් පාලන ආයතනවල නියෝජිතයන් කැඳවා සාකච්ඡාවක් පැවැත් වූ බවත්, එම වැඩසටහන ක්‍රියාවට නංවන බවත්, හෙතෙම කීවේ ය.

“අඛණ්ඩ ජල තත්ත්ව පරීක්ෂණ කරගෙන යනවා. ඊට අමතරව වරින් වර ජල සාම්පල ගෙන පරීක්ෂා කිරීම් කරනවා. සාමාන්‍ය ජලයේ තිබිය යුතු පරාමිතීන් සියල්ල පරීක්ෂා කරනවා. පීඑච් අගය, විද්‍යුත් සන්නායකතාව, රසායනික ඔක්සිජන් ඉල්ලුම, ජීව රසායනික ඔක්සිජන් ඉල්ලුම, ද්‍රාව්‍ය ඔක්සිජන් ප්‍රමාණය, තෙල් හා ග්‍රීස්, අවලම්බිත අංශු, බොරතාව ආදී වූ පරාමිතීන් සංසරණ ජල තත්ත්ව රෙගුලාසිවලට අනුකූල වෙනවා. යම් යම් අවස්ථාවලදි මළ අපද්‍රව්‍ය හා ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය මුදාහැරීම හේතුවෙන් මළ අපද්‍රව්‍ය බැක්ටීරියා ගහණය වෙනස් වෙන අවස්ථා දකින්න පුළුවන්. ගඟේ ජලයට එකතු වී තිබෙන රසායනික ද්‍රව්‍ය ගැන එයින් දත්ත ලැබෙනවා.

සෑම කර්මාන්තශාලාවක්ම අපේ ආයතනයෙන් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතුයි. ඒ බලපත්‍ර අලුත් කරන්නෙ කර්මාන්තශාලාවලින් පිටකරන අප ජලය නියමිත ප්‍රමිතියට තියෙනවා නම් විතරයි. ගංගා ආශ්‍රිත තියෙන මහා පරිමාණ කර්මාන්තශාලා බොහොමයක් හරි විදියට ජල පිරිපහදු ක්‍රියාත්මක කරනවා. නමුත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල ජල පිරිපහදු තත්ත්වයන් ඉතාම නරක තැනක තියෙන්නෙ. ඒ අයගෙ පිරිපහදු පද්ධති සකස් කිරීම සඳහා දැනුම ලබා දෙන වෙනම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා” හෙතෙම පැහැදිලි කළේ ය.