ආණ්ඩුවේ සහන පැකේජයට බිලියන 380ක් ඹ්නෑ


  • බිලියන 215 ක වැඩිම මුදල නිවාස වන්දිවලට
  • මහාචාර්ය වසන්ත අතුකෝරළ

උපුල් වික්‍රමසිංහ

දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට හා විනාශ වූ කෘෂිකාර්මික ඉඩම් වෙනුවෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතමින් යෝජනා කළ සහන ලබාදීම සඳහා රුපියල් බිලියන 380 ක පමණ මුදලක් වැය වෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි.

එයින් වැඩිම මුදලක් වෙන් වෙන්නේ නිවාස වන්දි ගෙවීමට බව කී හෙතෙම ඒ සඳහා වැය වෙන මුදල රුපියල් බිලියන 215 ක් බව ද ප්‍රකාශ කළේ ය.

රුපියල් බිලියන 54 ක් නිවාස පිරිසුදු කිරීම වෙනුවෙන් ලබා දෙන රුපියල් 25,000 දීමනාව හා ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට ලබා දෙන රුපියල් 75,000 ක දීමනාව ගෙවීමට වැය වෙන බවත් හානි වූ ධාන්‍ය වගා භූමි හා එළවළු වගා බිම්වලට ගෙවීමට තවත් රුපියල් බිලියන 25 ක් වැය වෙන බවත් කරන ලද ගණනය කිරීමක දී හෙළි වූ බව මහාචාර්යවරයා කීවේය.

සත්ත්ව ගොවිපළ, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත, මත්ස්‍ය යන අංශවලට වූ හානි පූරණය සඳහා රුපියල් බිලියන 15 ක් පමණ වැය වෙතැයි උපකල්පනය කළ හැකි බව ද ඔහු සඳහන් කළේ ය. 

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සඳහන් කරන ආකාරයට මෙම ව්‍යසනය මගින් මෙරට ජනගහනයෙන් සියයට 10 කට බලපෑම් එල්ල කර ඇති බව කී ඔහු පාසල් ළමයින් ලක්ෂ 38 ක් සිටින බවත් එය මුළු ජනගහනයෙන් ලක්ෂ 4 ක් පමණ බවත් ඒ අනුව පාසල් ළමයින් සඳහා ලබා දෙන රුපියල් 25,000 න් එම ලක්ෂ 4 වැඩි කළ විට රුපියල් බිලියන 10කට ආසන්න මුදලක් ඊට වැය වෙන බවත් සඳහන් කළේ ය. 

එසේම ව්‍යාපාරික ගොඩනැගිලි 500 කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී ඇතැයි උපකල්පනය කළ හොත් ඒ සඳහා වන්දි වශයෙන් ගෙවීමට රුපියල් බිලියන 2.5 ක් වැය වෙනු ඇති බව ද සම්පූර්ණයෙන් නිවාස අහිමි වූ පිරිසට වන්දි ගෙවීම සඳහා තවත් රුපියල් බිලියන 53කට ආසන්න මුදලක් අවශ්‍ය වනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

මේ අතර විනාශ වූ නිවෙසකට රුපියල් ලක්ෂ 50 බැගින් ගෙවන බව රජය පැවසුව ද එම අගය විනාශයේ ප්‍රමාණය මත වෙනස් විය හැකි යැයි ද අර්ධ වශයෙන් විනාශ වූ නිවාස 86,245 ක් ඇති අතර ඒ එක් නිවාසයකට රුපියල් ලක්ෂ 25 බැගින් ගෙවන්නේ යැයි සිතුව හොත් ඒ වෙනුවෙන් රුපියල් බිලියන 215 කට ආසන්න මුදලක් අවශ්‍ය වේ යැයි ද මහාචාර්යවරයා අනාවරණය කළේ ය.

අවතැන් වූ පවුලකට රුපියල් 25,000 බැගින් මාස තුනක් ද රුපියල් 50,000 බැගින් මාස තුනක් දක්වා කුලී නිවාස මුදලක් ද ලබා දීමට කළ යෝජනාව අනුව ඒ සඳහා රුපියල් බිලියන 6 ක මුදලක් වැය වෙතැයි ගණන් බලා ඇති බව ද හේ කීවේ ය. එහිදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව අවතැන් වූ පවුල් 26,841 ක සංඛ්‍යාව අදාළ වන්දි මුදල්වලින් වැඩි කිරීමෙන් එම අගය ලබා ගත් බව ද පැවසීය. 

මෙම ගණනය කිරීම් කරනු ලැබුවේ ඉකුත් 5 වැනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රසිද්ධ කළ සහන පැකේජයේ අන්තර්ගත වන්දි මුදල් දැනට ප්‍රකාශිත හානි සහ පීඩාවට පත්ව සිටින පවුල් සහ පුද්ගලයන් ප්‍රමාණයෙන් වැඩි කිරීමෙන් බව ඔහු කීවේ ය.