කොළොන්නාව උස්සයි ගංවතුරෙන් නිතර බැටකන කොළොන්නාව නගරය උස් බිමකට ගෙන යෑමේ තීන්දුවක්


අංජුල මහික වීරරත්න


කො​ළොන්නාව නගරය තිබෙන තැනින් ඉවත් කොට එම ප්‍රදේශයේම උස් බිමක ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. මෙම නව නගර සැලසුම යටතේ දැනට පහත් බිම්වල තිබෙන රෝහල්, පාසල්, නිවාස, වෙළෙඳ සංකීර්ණ ආදී සියල්ල උස් භූමිවල ස්ථාපිත කිරීමට නියමිතය.

ඒ සඳහා සුදුසු භූමි ප්‍රදේශ එම ප්‍රදේශයේම තිබෙන බව රජය පවසයි. එමෙන්ම කොළොන්නාව නව නගර සැලසුම අනුව අනවසර ඉදිකිරීම් තහනම් කිරීමට අවශ්‍ය නීති ගෙන ඒමටද නියමිතය.
මෙම සැලසුමට අනුව කැලණි ගං මිටියාවතේ ගංවතුර පාලන ක්‍රමවේදයක් සකස් කෙරේ.මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් වීරසේකර සහ ප්‍රේමනාත් සී. දොළවත්ත මහත්වරුද සහභාගී වූහ.
“කොළොන්නාවට අලුත් නගර සැලසුම් ඕනැ නෑ. කොහොමත් නගරය මීතොටමුල්ලට ගෙන යන සැලැස්මක් තියෙනවා. 2015 යහපාලන රජයේ අගමැතිවරයා ලෙස ඉන්න කාලෙදිමයි මේ සැලසුම හැදුවේ. හැබැයි ඒක කළේ නෑ. 
දැන් ජනාධිපතිතුමා හරියට නින්දෙන් නැගිට්ටා වගේ නගරය හදන්න කතා කරනවා. කොළොන්නාවේ ගංවතුර පාලනය කරන්න පොම්පාගාර 4 ක් අවශ්‍යයි. එයින් දෙකක් හදලා තියනවා. ඉතිරි දෙක හදන්න මම 2022 ඔක්තෝබර් මාසේ ප්‍රතිපාදන ඉල්ලුවා. ඒත් දුන්නේ නෑ. ගංවතුර ආවට පස්සේ නගරය හදන්න මතක්වෙලා. ” යැයි මන්ත්‍රීවරයා පැවසීය.