(ඩයනා උදයංගනී)
අනාගතයේ ජනාවාස ව්‍යාප්ත කළ යුතු ප‍්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති ආර්ථික කොරිඩෝවන් සහ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අතර කිසිම සම්බන්ධයක් නැතැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
එම ගිවිසුමෙහි ඉඩම් පැවරීමක් සම්බන්ධයෙන් කිසිඳු සඳහනක් නැතැයි කී ඇමැතිවරයා එය මගින් සිදුකෙරන්නේ මහනුවර නගරයේ දැනට ක‍්‍රියාත්මක සහසර ව්‍යාපෘතිය රට පුරා ව්‍යාප්ත කිරීම, මාර්ග සංවර්ධන අධිකාරිය හරහා රට පුරා මාර්ග පද්ධතියක් සකස් කිරීම, ඉඩම් අමාත්‍යාංශයට ඉඩම් මැන අවසන් කිරීම සඳහා සහයදීම ආදිය පමණක් බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
නිසි අධ්‍යාපනයක් නොලැබූ, තම දරුවන් විදේශයන්හි පදිංචි කරවා සිටින වංචනික දේශපාලකයින් කුමක් කීවත් රටට තිබෙන එකම ඇමෙරිකන් මරඋගුල වන්නේ ඇමෙරිකන් පුරවැසියෙක් වන ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වීමට යාම බව කී අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයෙන් හෝ නොවිමසා ඇක්සා ආදී හොර ගිවිසුම් අත්සන් කළේ එම ජනාධිපති අපේක්‍ෂකයා බව ද ප‍්‍රකාශ කළේය.
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි එම අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී අද (1) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
රටේ ආර්ථික කොරිඩෝ හතරක් හඳුනාගෙන ඇත්තේ රටේ අනාගතයේ ඇතිවිය හැකි ඉඩම් හිඟය, ජල හිඟය, අධ්‍යාපන අවශ්‍යතා ආදී කරුණු මත රටේ අනාගතය වෙනුවෙන් බවද ඇමැතිවරයා කීවේය.
එම ජාතික භෞතික සැලසුම සකස් කළේ මෙරට විද්වතුන් වසර ගණනක් මහන්සි වෙමින් බව කී ඇමැතිවරයා එයට ඇමෙරිකාවේ කවුරුත් සම්බන්ධ වී නැතැයි ද පැවසීය.
රටේ ජනාවාස අනාගතයේ දී මේ කොරිඩෝ වෙත ගෙන ආ යුතු බවට යෝජනා වී ඇතැයි කී ඇමැතිවරයා එය මුලින්ම කළේ පරාක‍්‍රමබාහු රජතුමාගේ සමයේ බවත්, රට ත‍්‍රිකුණාමලයෙන් මධ්‍ය ආසියාවට විවෘත කර මෙම කොරිඩෝව ඇතිකළේ එතුමා බවත් සඳහන් කළේය.

