(හර්ෂණ තුෂාර සිල්වා)
කොළඹ විශ්වවිද්‍යාලයේ, ජාත්‍යන්තර සබඳතා අධ්‍යයනාංශය සංවිධානය කරන “කලාප සොයා යෑම” දෙදින සමුළුව කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේදී අද (5) ආරම්භ විය.
මධ්‍යම ආසියාව සහ ආසියා ශාන්තිකර කලාපය සොයා යෑම: බහුවිධ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම ඔස්සේ ශ්‍රී ලංකා-පෝලන්ත සබඳතා ශක්තිමත් කරගැනීම සහ වගකීම් සහගත අයුරින් ව්‍යාපාරවල යෙදීම” යන ප්‍රධාන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වේ.
කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයනාංශයේ ප්‍රධානී ආචාර්ය මනීෂා වනසිංහ පැස්කුවෙල් මහත්මිය පිළිගැනීමේ කතාව කරමින් සමුළුවේ සමාරම්භක සැසිය ආරම්භ කළ අතර කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා එන්. විජයරත්න මහත්මිය සැසියේ මුඛ්‍ය දේශනය කළාය.
සමුළුවේ ගෞරවනීය ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූ පෝලන්තයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය මාචෙයි ලන්ග් සහ ‘ලොට් පෝලිෂ්’ ගුවන් සේවයේ ප්‍රධාන වාණිජ නිළධාරී මයිකල් ෆිජොට් මහත්වරුද මෙහිදි අදහස් දැක්වූහ.
මෙහිදි කොළඹ විශ්ව විද්‍යාලය සහ පෝලන්තයේ වෝර්සෝ විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබුණු අතර කොළඹ විශ්ව විද්‍යාලය වෙනුවෙන් එහි උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා එන්. විජයරත්න මහත්මිය ද වෝර්සෝ විශ්ව විද්‍යාලය වෙනුවෙන් එහි උප කුලපති මහාචාර්ය යාකූබ් සයච්කොව්ස්කි මහතා ද ඊට අත්සන් තැබූහ.
කොළඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා, මහාචාර්ය යාකූබ් සයච්කොව්ස්කු සහ කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය සුරංග සිල්වා යන මහත්වරු ද මෙහිදි අදහස් දැක්වූහ.
පෝලන්තය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා ආරම්භ කරමින් “පෝලිෂ්” ගුවන් සේවයට අයත් යානයක් ශ්‍රී ලංකාවට පැමිණීම ද මෙම සමුළුවේදී සංකේතවත් කෙරුණි. සමුළුවේ හෙට (6) දිනටත් පැවැත්වේ.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)


