‘ඉදිරියේදී පත්වන ජනපති රටේ සියලු දූෂණ මුලිනුපුටා දැමිය යුතුයි’


මහා පරිමාණ දූෂණය රටේ සංවර්ධනය ආපස්සට ඇද දමා ජනතාව දුගී බවට හා වේදනාවට පත්කර ඇති හෙයින් ඉදිරියේ පත්වන ජනාධිපතිවරයා ඇතුළු නායකයන් මේ රට සියලුම ආකාරයේ දූෂණ හා අක්‍රමිකතාවලින් මුලිනුපුටා දැමීමට දැඩි පියවර ගත යුතු යැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පාස්කු ඉරිදා එල්ල වූ කුරිරු ප්‍රහාරයෙන් විපතට පත් අහිංසක ජනතාව සිහිපත් කරමින්, ආගමික අන්තවාදය හා ජාතිවාදය මුලිනුපුටා දමා රටේ සියලුම ආගම් හා ජාතීන් අතර සාමකාමී සහජීවනය ඇති කිරීමට කටයුතු කරන ලෙස ද රටේ නායකයන්ගෙන් ඉල්ලා සිටින බව එම නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති ජේ.වින්ස්ටන් එස්. ප්‍රනාන්දු බදුල්ල රදගුරු, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ උපසභාපති ජස්ටින් බර්නාඞ් ඥානප්‍රසාගම් යාපනය රදගුරු, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ මහලේකම් ජේ.ඩී. ඇන්තනී කොළඹ සහායක රදගුරු, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු, ජේ. වියානි ප්‍රනාන්දු මහනුවර රදගුරු, හැරල්ඞ් ඇන්තනී පෙරේරා කුරුණෑගල රදගුරු, නෝබට් එම්. අන්ද්‍රාදි අනුරාධපුර රදගුරු, ඩී. වැලැන්ස් මෙන්ඩිස් හලාවත රදගුරු, රේමන්ඞ් කේ. වික්‍රමසිංහ ගාල්ල රදගුරු, ක්ලීටස් සී. පෙරේරා රත්නපුර රදගුරු, ජෝසප් පොන්නයියා මඩකලපුව රදගුරු, එෆ්.එම්. එම්මානුවෙල් ප්‍රනාන්දු මන්නාරම රදගුරු,නොයෙල් සී. එම්මානුවෙල් ත්‍රිකුණාමලය රදගුරු සහ මැක්ස්වල් ජී.සිල්වා කොළඹ සහායක රදගුරු යන හිමිවරුන්ගේ අත්සන්වලින් යුතුව එම නිවේදනය නිකුත් කර තිබේ.

එම නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.

“ඉදිරි ජනාධිපතිවරණයේදී, අවංකභාවයට මුල්තැන දෙමින් සියලු ජනතාවගේ අයිතීන් හා නිදහස සුරක්ෂිත කරනා ප්‍රජාතාන්ත්‍රික අයිතීන් සුරකින සහ රටේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් කැපවෙමින් සියලුදෙනා සමග ඒකාග්‍රතාවයෙන් සේවය කළ හැකි සුදුසු අපේක්ෂකයකු තෝරා ගැනීම සඳහා බුද්ධිමත්ව සහ ධෛර්යමත්ව තීන්දු තීරණ ගන්නා ලෙසට ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය සියලු රටවැසියන්ගේ අවධානය යොමු කර සිටී. රටේ ජනාධිපතිවරයා පක්‍ෂ දේශපාලන අභිබවා යා යුතුය.

පාස්කු ඉරු දින සිදුවූ කුරිරු ප්‍රහාරයෙන් විපතට පත් අහිංසක ජනතාව සිහිපත් කරමින් අප මේ අවස්ථාවේ රටේ නායකන්ගෙ න් උදක්ම ඉල්ලා සිටින්නේ ආගමික අන්තවාදය හා ජාතිවාදය මුලිනුපුටා දමා අප රටේ සියලුම ආගමික හා ජාතීන් අතර සාමකාමී සහජීවනය ඇතිකරලීමට කටයුතු කරන ලෙසය.

අනාගත ජනාධිපතිවරයා ඇතුළු රජය ආගමික නිදහස, ජාතික ආරක්‍ෂාව, සෞඛ්‍ය, අධ්‍යාපනය, ආර්ථික සංවර්ධනය, රටේ තිරසාර සංවර්ධනය සඳහා අනාගත පුරපුර වෙනුවෙන් ස්වභාවික සම්පත් මනාව කළමනාකරණය කිරීමේ වගකීම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තීන් සකසනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

මහා පරිමාණ දූෂණය රටේ සංවර්ධනය ආපස්සට ඇද දමා ජනතාව දුගී බවට හා වේදනාවට පත් කර ඇත. එබැවින් ඉදිරියේ පත්වෙන ජනාධිපතිවරයා ඇතුළු නායකයින් සියලුම ආකාරයේ දූෂණ හා අක්‍රමිකතාවන් මුලිනුපුටා දැමීමට දැඩි පියවර ගත යුතුව ඇත.

ස්වකීය ඡන්ද බලය රටේ පොදු යහපත උදෙසා නිවැරැදිව හා බුද්ධිමත්ව භාවිත කිරීම රටේ සියලු පුරවැසියන්ගේ අයිතිය හා යුතුකම බව සභා මාතාව අපට උගන්වන්නීය. එබැවින් ඉදිරි මැතිවරණයේ දී උතුම් වූ ප්‍රජාතාන්ත්‍රික අයිතියක් සේ සලකා ඡන්දය ප්‍රකාශ කරන ලෙස ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව සියලු කිතුණුවන් හා ලංකාවාසී ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටී.

මැතිවරණ සමය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ අයහපත් ප්‍රවණතාවයන් අප විසින් නිරීක්‍ෂණය කරනු ලැබ ඇත. එබැවින් ජනතා පරමාධිපත්‍යය සුරක්ෂිත කරන නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම ද අරබයා ජනාධිපති අපේක්ෂකයන් ඔවුන්ගේ උදව්කරුවන් සමාජ මාධ්‍ය හා සියලුම වගකිව යුතු බලධාරීන් මැතිවරණ නීති අකුරටම පිළිපදිනු ඇතැයි බලාපොරොත්තු වෙමු. පත්වෙන්නා වූ නව ජනාධිපතිවරයා සහ රජය සැබෑ සංවර්ධනයක් සඳහා රටත් ජනතාවත් මෙහෙයවනු ඇතැයි යන්න අපගේ යැදුම්බර ප්‍රාර්ථනාවයි”.

 055