‘ආරම්භ කළ ගමන ඉදිරියට යනවා’


(ඩයනා උදයංගනී)

ආරම්භ කළ ගමන ඉදිරියට යනවා මිස අතරමග නැවතී වෙනත් අපේක්‍ෂකයකුට සහය දැක්වීමක් කරන්නේ නැතැයි ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්‍ෂක, හිටපු යුද හමුදාපති, ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පැවසීය.

වත්මන් දේශපාලන සංස්කෘතිය වෙනුවට මහත්මා දේශපාලනයක් ඇතිකර ජනතා විශ්වාසය දිනාගත් පාලනයක් ඇතිකිරීම තම අපේක්‍ෂාව බව ද ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ප‍්‍රකාශ කළේය.

දේශපාලනයක් නොව දේශ සේවයක් කිරීම තම අරමුණ බව කී මහේෂ් සේනානායක මහතා ජනාධිපතිවරණයෙන් නොනැවතී ඉදිරි සෑම මැතිවරණයකටම වඩාත් සුදුසු කණ්ඩායමක් ඉදිරිපත් කරමින් ඉදිරියට යන බව ද පැවසීය.

මහේෂ් සේනානායක මහතා මේ බව පැවසුවේ බොරැල්ලේ පිහිටි ජාතික ජනතා ව්‍යාපාර කාර්යාලයේදී අද (4) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ඇතුළු සියලූ දෙනාට ඡන්දය භාවිතා කළ හැකි වැඩපිළිවෙළක් ඉදිරියේ දී ඇතිකරන බව කී මහේෂ් සේනානායක මහතා එවිට සමස්ත ජනතා කැමැත්තෙන් යුතු පාලනයක් රට තුළ ඇතිකළ හැකි බව ද කීවේය.

පළාත් සභා, ප‍්‍රාදේශීය සභා මැතිවරණ එකම දිනක පැවැත්වීම, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ පාර්ලිමේන්තුවට පැමිණීම 85% ක් අනිවාර්ය කිරීම ආදිය වෙනුවෙන් ද තම පාලනයක් යටතේ ක‍්‍රියාකරන බව හෙතෙම සඳහන් කළේය.

ආගමික නායකයින් විසින් ඉදිරිපත් කර ඇති සුපිළිපන් දේශපාලන සංස්කෘතියක් සඳහා වන නිර්ණායක පිළිගත හැකි එකම කණ්ඩායම තම කණ්ඩායම බව කී මහේෂ් සේනානායක මහතා සෙසු අපේක්‍ෂකයින් වටා සිටින අය අනුව පිළිගත නොහැකි බව ද කීවේය.

හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ, ජෙනරාල් ඇන්ටන් විජේන්ද්‍ර යන මහත්වරුන් ද මෙහිදි අදහස් දැක්වූහ.