(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තමන්ව ඇප මත මුදාහරින නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරු අභියාචනාධිකරණය හමුවේ අද (31) ප‍්‍රතිශෝධන පෙත්සමක් ගොනු කළේය.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබ ඇත.
පෙත්සම්කාර හේමසිරි ප‍්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් සිය පෙත්සමින් කියා සිටින්නේ පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර මිනීමැරීම් සිදුකළ බවට චෝදනා කරමින් තමන්ව රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි.
එහෙත් තමන්ට එරෙහිව මිනීමැරීමේ චෝදනා පවත්වාගෙන යාමට ප‍්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කරමින් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් තමන්ව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදා හළ බවත් පෙන්වා දෙන පෙත්සම්කරුවෝ ඉන්පසුව නීතිපතිවරයා විසින් එම මහේස්ත‍්‍රාත් අධිකරණ තීන්දුවට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ප‍්‍රතිශෝධන පෙත්සමක් ද ඉදිරිපත් කළ බව කියා සිටිති.
නීතිපතිවරයාගේ එම ප‍්‍රතිශෝධන පෙත්සම විභාග කළ කොළඹ මහාධිකරණය විසින් ඉකුත් 9 වැනිදා තම ඇප නියෝගය අවලංගු කරමින් නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බවත්, එම නියෝගය දෝෂ සහිත බව පෙත්සම්කරුවෝ කියා සිටිති.
එසේම එම තීන්දුව නීතියට පටහැනි බවත්, අසාධාරණ බවත් පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
ඒ අනුව කොළඹ මහාධිකරණය විසින් ඉකුත් 9 වැනිදා ප‍්‍රකාශිත නියෝගය නීතිවිරෝධී බවට තීන්දු කර එය බලරහිත කරන ලෙසද, තමන්ව ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගය ද අවලංගු කරන්නැයි පෙත්සම්කාර හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පතිවරයා සිය ප‍්‍රතිශෝධන පෙත්සම මඟින් ඉල්ලා ඇත.

