හිස්බුල්ලාට එරෙහිව නඩු පවරන්න’යි නිර්දේශ


(විනීතා එම් ගමගේ)
 
මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය ලියාපදිංචි කිරීමේ දී එම්. ඒ. එල්. එම්. හිස්බුල්ලා මහතා ක‍්‍රියාකර ඇති ආකාරය නීති විරෝධී බැවින් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගැනීම සදහා  අධ්‍යාපනය හා මානව සම්පත් පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශ සහිත වාර්තාව කථානායකවරයා වෙත භාරදුන් බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා ප‍්‍රකාශ කළේය.

 
හිස්බුල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස සිටිමින් ඔහු රජය සමග ගිවිසුම් අස්සන් කර ඇතැයි ද 2013 සහ 2016 දී එවකට පැවැති ආණ්ඩු සමග ඔහු ගිවිසුම් අත්සන් කර ඇතැයි ද පැවසූ මාරසිංහ මහතා ඒවා සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව අධ්‍යාපනය හා මානව සම්පත් පිළිබද ආංශික කාරක සභාව නිරීක්ෂණය කළ බව ද කියා සිටියේය.
 
මේ තත්ත්වය යටතේ ඔහුගේ මන්ත‍්‍රීධුරය අතීතයට බලපාන පරිදි අහෝසි කළ යුතුයැයි එම කාරක සභාව නිර්දේශ කර ඇතැයි ද හෙතෙම සදහන් කළේය.
 
මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය පිළිබදව තම කාරක සභාව මගින් කළ පරික්ෂණයෙන් පසු සකස් කළ සම්පූර්ණ වාර්තාව මේ වනවිට කථානායකවරයාට බාර දී ඇතැයි කී මන්ත‍්‍රීවරයා කථානායකවරයා ඔහුට එරෙහිව නඩු පැවරීමට එය නීතිපතිවරයා වෙත භාරදෙනු ඇතැයි ද පැවසීය.
 
කිසිදු මන්ත‍්‍රීවරයෙකුට රජය සමග ගිවිසුම් අස්සන් කළ නොහැකි යැයි ද එය නීති විරෝධී යැයි ද පෙන්වා දුන් මාරසිංහ මහතා මන්ත‍්‍රීවරයෙකු එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව නඩු පවරන මුල්ම අවස්ථාව මෙය විය යුතු යැයි ද කියා සිටියේය.
 
 ආශු මාරසිංහ මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අද (23)පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.