(බිඟුන් මේනක ගමගේ)
සාමාන්‍ය දුම්රිය වලට යාකොට සුඛෝපභෝගි දුම්රිය මැදිරි ධාවනය කිරීම සඳහා පෞද්ගලික සමාගම්වලට ඉඩ නොදී දුම්රිය දෙපාර්තමේන්තුවට ලබාදෙන්නැයි දුම්රිය වෘත්තිය සමිති සන්ධානය ලිපියක් යොමු කරමින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
සුඛෝපභෝගි දුම්රිය මැදිරි ධාවනය කිරීම සඳහා පෞද්ගලික සමාගම්වලට ඉඩ දීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවට පළ වූ මාධ්‍ය වාර්තා අනුව මෙම ඉල්ලීම කරන්නේ යැයි එම සන්ධානයේ සමකැඳවුම්කරු එස්.පී විතානගේ මහතාගේ අස්සනින් යුතුව යොමු කර ඇති එම ලිපියේ සඳහන් වේ.
බදුල්ල, යාපනය, කන්කසන්තුරේ, ත්‍රිකුණාමලේ, මඩකලපුව, මාතර හා බෙලිඅත්ත දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියවලට යාකර සුඛෝපභෝගී මගී දුම්රිය මැදිරි ධාවනය කිරීමට මෙසේ කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි ද දුම්රිය වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.
දුම්රිය දෙපාර්තමේන්තුවට එක එල්ලේම ආදායම් ලබාගත හැකි පරිදි සුඛෝපභෝගි දුම්රිය මැදිරි ධාවනය කිරීමේ හැකියාව ඇතැයි ද නිසි ක්‍රමවේදයක් සකසනවා වෙනුවට පෞද්ගලික සමාගම් හා පුද්ගලයින් සම්බන්ධ කරගෙන ඔහුනට වැඩි වාසි සැලැසීම දුම්රිය සේවය පෞද්ගලීකරණය කිරීමක් යැයි ද ඔවුහු චෝදනා කරති.
දැනටමත් කොළඹ කොටුව - මහනුවර නගරාන්තර දුම්රියේ, දුම්රිය ගමන් වාර 4 ක් සඳහා බ්ලූ ලයින් සුඛෝපභෝගී මැදිරි 4 ක් ධාවනය වන්නේ යැයි ද ඒ සඳහා එක් මගියකුගෙන් රුපියල් 1650.00 ක් අය කරන නමුත් අදාළ සමාගම දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවන්නේ රුපියල් 760.00 ක් පමණක් යැයි ද එම ලිපියේ සඳහන් වේ.
දුම්රිය මැදිරියේ නඩත්තු කටයුතු හෝ දුම්රිය ධාවනයේ දී උද්ගතවන කිසිදු වියදමක් අදාළ සමාගම විසින් දරන්නේ නැතැයි ද දුම්රිය වෘත්තිය සමිති සන්ධානය සිය ලිපියෙන් චෝදනා කර ඇත.
මෙම සුඛෝපභෝගී මැදිරි එක් කරනු ලබන්නේ දැනට ධාවනය වන දෙවැනි හා තුන් වැනි පංතියේ මැදිරි ගලවා ඉවත්කිරීමෙන් යැයි ද එම නිසා සාමාන්‍ය ගාස්තු ගෙවන මගීන් සඳහා ඇති ඉඩකඩ අහිමිවන්නේ යැයි ද එම ලිපියේ සඳහන් වේ.
මීට පෙරද එක්ස්පෝ හා රාජධානී ( Expo/Rajadhani) සුඛෝපභෝගී දුම්රිය මැදිරි ධාවනය කිරීමේදී දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවූ මූල්‍යමය හානිය රුපියල් කෝටි ගණනක් බව විගණන විමසුම් මගින් හෙළි වී ඇතැයි ද එනිසා පෞද්ගලික සමාගම් මැදිහත් කරගත් සියලු ව්‍යාපෘති දුම්රිය දෙපාර්තමේන්තුවට හානි දායක වන බව පෙන්වා දෙන්නේ යැයි ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

