සිසුවියට තෑගි දුන් සුවඳ විලවුන් බෝතලය 7 ක් සිහිසුන් කරයි


(ඩී.ජී.සුගතපාල , ජේ.කේ.එල් චාමින්ද සහ ජේ.ඩබ්.කේ. ප්‍රේමතිලක ද සිල්වා)

අහංගම දික්කුඹුර ප්‍රදේශයේ පාසලක සිසුවියක් විසින් ගෙන එන ලද සුවඳ විලවුන් බෝතලය ආඝ්‍රහණය වීමෙන් සිසුවියන් හය දෙනෙකු සහ සිසුවකු සිහිසුන්ව ආසාත්මිකතාවයකට ලක්වීමෙන්  අද (31) දහවල් රෝහල්ගත කළ බව ඉමදුව පොලිසිය පවසයි.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ 8 වන ශ්‍රේණියේ සිසුවියන් හයදෙනෙකු සහ සිසුවෙකි.

එම පංතියේ සිසුවියකගේ උපන් දිනය තිබී ඇති අතර ඒ සඳහා වැලිගම පාසලක ඉගෙනුම ලබන සිසුවෙක් තෑගි ලෙස මෙම සුවඳ විලවුන් බෝතලයක් ලබාදී තිබේ.

පසුව ඇය ඊයේ එම සුවඳ විලවුන් බෝතලය පංතියට ගෙනැවිත් ඇති බවත් පංතියේ යහලු යෙහෙලියන් එය ආග්‍රහණය කළ අවස්ථාවේ ඔවුන් සිහිසුන්ව අසාත්මිකතාවයකට ලක්ව ඇති බවත් ඒ නිසා වහාම අහංගම ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පවසයි.

සිසුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළේය.