(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දියගහගේ)
හබරාදූව මීපේ පදිංචි නිදහස් මාධ්‍යවේදියෙකු වන ලසන්ත විජේරත්න මහතාගේ නිවසට අද (14) ඇතුළු වූ සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඒ මහතාට පහරදී තුවාල කර පලාගොස් ඇතැයි හබරාදූව පොලිසිය කියයි.
එම පිරිස නිවසේ දේපලවලටද හානිකර ඇතැයි පොලිසිය පවසයි.
තුවාල ලැබූ විජේරත්න මහතා කළුගල රෝහලට ඇතුළත්කර තිබූ අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ වනවිට කරාපිටිය මූලික රෝහලට මාරු කර යවා ඇත.
මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වු ලසන්ත විජේරත්න මහතා මෙසේ විස්තර කීය.
‘අද පාන්දර ශබ්දයක් ඇහිලා මම නිවසින් එළියට බැහැලා බැලුවා. ඒ එක්කම මුහුණු ආවරණය කරගත් හතරදෙනෙක් ඇවිත් මගේ හිසට පිස්තෝලයක් තියලා, සී.සී.ටී.වී.කැමරා තියෙනවා නම් එය ක්‍රියා විරහිත කරන්නැයි කිව්වා. මම ක්‍රියා විරහිත කළා.
ඒ වෙලාවේ මගේ බිරිඳත් මාස එකොළහක දරුවත් මගේ අම්මත් හිටියා. බිරිඳට පිස්තෝලයක් එල්ල කරල ඇඳෙන් බහින්න දුන්නේ නැහැ. මම පසුගිය ආණ්ඩුව කාලේ නාස්තිකාර සංවර්ධනය හා දූෂණය කියල පොතක් ලිව්වා. ආපු අය ඒ පොත ගැන තමයි ඇහුවේ. ඊට අමතරව මගේ මුහුණු පොත ගැනත් ඇහුවා. උඹට වෙන වැඩ නැද්ද කියල ඇහුවා.
ආපු අයගෙන් දෙන්නෙක් සම්පුර්ණ මුහුණු ආවරණ දමාගෙන හිටියා. අනෙක් දෙදෙනත් මුහුණු ආවරණය කරගෙන හිටියා. එක් අයෙක් අතේ තිබූ දිග පිහියකින් මට පහරදුන්නා. එය වළක්වන්න මම අත අල්ලද්දි අත කැපුනා” යැයි කීය.
මේ සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


