තාරුණ්‍යයේ ඒ දක්ෂ ශිල්පී යුවළගේ හඬට අපි මොහොතකට සවන් දෙමු.
නදීක ඔබ ගැන වැඩිදෙනා කතා කරන්න පටන් ගත්තෙ, ධර්මසිරි බණ්ඩාරනායකයන්ගෙ ”මකරාක්ෂයා” (දෙවැනි නිෂ්පාදනය) සඳහා සංගීත අධ්‍යක්ෂණය සහ ධර්මප‍්‍රිය ඩයස්ගෙ ජුලියස් සීසර් සහ සුජීව ප‍්‍රියලාල්ගෙ සෙනෙහෙබර ධනුද්දර වේදිකා නාට්‍ය සඳහා සංගීතය නිර්මාණය කළ ශිල්පියා ලෙසයි.
ඔබගෙ මේ ගමනේ මූලික පිය සටහන් ගැන සිහිපත් කළොත්?
කලා අංශයෙන් ගමනක නියැලෙනවද, කියන අරමුණ පාසල් කාලයේදී තිබුණෙ නැහැ. ඒත් අපි කලා අංශයේ නොවුනත් පාසලේ සංගීත අංශයේ, කලා අංශයේ බොහෝ වැඩ වලට දායක වුණා. පාසල ඒ කැමැත්ත ඇති කළ තෝතැන්න වුණා. පසුව මට ඕනෑ වුණේ නව තාක්ෂණය ගැන හැදෑරීම් කරන්නයි. ඔසී නුගාර මහත්මා යටතේ කිව් ඕඩියෝ වෙතින් නාදශික්ෂණය ගැන හැදෑරුවා. සංගීත තාක්ෂණය ගැන මූලික ආභාෂය ලැබුවේ එතැනින්. නමුත් මගේ කලා ගමනේ ප‍්‍රථම පියවර වුණේ නර්තන ශිල්පියකු ලෙස කටයුතු කිරීමයි. පළමුවෙන්ම බෙර වාදනය ගැන හැදෑරුවේ සරත් ලාල් පනාවල ගුරුතුමා යටතේයි. බටහිර ශාස්ත‍්‍රීය සංගීතයෙහි මූලික හැදෑරීම් කළේ පුෂ්පා සේනාරත්න මහත්මිය යටතේයි. පොඩි කාලයේ ඉඳලාම නර්තනයට ලැදිව සිටි මගේ ගුරුවරිය වුණේ මාලතී සෝමබන්ධු මහත්මියයි. පසුව සෝමබන්ධු විද්‍යාපති මහතා යටතේ තවදුරටත් නර්තනය හදාරනවා. වෙස් මංගල්‍යය පවා පැවැත්වූවා. මේ නිසා මම හිතන්නෙ මගේ ජීවිතයේ ප‍්‍රථම සංගීත භාණ්ඩය ”බෙරය” කියලයි. අද වන විට නම් අමරනාත් රණතුංගයන් යටතේ, බටහිර ශාස්ත‍්‍රීය ගිටාර් වාදනය හදාරනවා. අමතරව රෙකෝඩින් ස්ටුඩියෝ නමැති මගේම ශබ්දාගාරයේ කෙරෙන වැඩ කටයුතු වලත් ජ’පුර සරසවියේ බාහිර කථිකාචාර්යවරයකු ලෙසත් කටයුතු කරනවා.
දිනූපා, ඔබගෙ ප‍්‍රවිශ්ඨය සහ නදීකගෙ හමුව ගැන සඳහනක් කළොත්?
2007 දී පමණ නදීක මට හමුවුණේ කලා කටයුත්තකදීම තමයි. ඊට පෙර මගේ ගමන ගැන සඳහනක් කළොත්, මම කේමදාස මාස්ටර්ගෙ ගෝලයෙක්. ඒ වගේම මගේ ගායන හැකියාව හඳුනා ගත්තෙ නන්දා මාලනී මහත්මියයි. එතුමිය නිසා තමයි ජැක්සන් ඇන්තනි මහතා හඳුනාගන්න පවා ලැබුණේ. ස්වර්ණවාහිනී හපන් පැදුරට එක්වුණේ ඒ විදියටයි. පසුව ජැක්සන් ඇන්තනි මහතාගේ අබා චිත‍්‍රපටයේ නදීක ගුරුගේ සංගීතඥයාගේ සංගීතයට ගී ගැයීමේ අවස්ථාවද ලැබුණා. නදීක වැලිගොඩපොල සමග කටයුතු කරන්න ප‍්‍රධාන හේතුව වුණේ, ඔහුගෙ ශෛලිය සහ ඔහු යන ගමන පිළිබඳව තිබූ දැක්ම අනුවයි. දැන් අප දෙන්නා එකතු වී සංගීතයට අවැසි මියැසි හඬවල් සොයා යන ගමනක් අරඹලයි තියෙන්නෙ.
නදීක ඇයි ඔබ ගීතවලට සංගීතය නිර්මාණය නොකරන්නෙ?
ගීත කීපයකට සංගීත නිර්මාණයෙන් එක්වුණා. නමුත් ප‍්‍රවීණ හෝ අලූත් අය එක්ක වැඩ කරලා කිසිවක් එළිදැක්වීම කරනවාට වඩා පසුගිය කාලය අපි යොදා ගත්තෙ කොහොමද මේ සංගීතය ඉදිරිපත් කිරීමේ අත්දැකීම ලබා ගන්නෙ කියලයි. චරිත් සේනාධීර රචිත ගීත තුනකට දිනූපා ගයමින් සංගීතය හැඩ කළා. මම හිතන්නෙ පේ‍්‍රක්ෂකයාට නිර්මාණ සමීප කරවිය යුතු සුදුසුම වෙලාව මේ මොහොත කියලයි.
|
දිනූපා ඔබ නදීකගෙ සංගීතය දකින්නෙ මොන විදියටද?
ඇත්තටම ලංකාවේ ඕනෑ තරම් සංගීත වාදනයට දක්ෂ අය හිටියට හඬවල් හරි අඩුයි. නදීක බොහෝ විට උත්සාහ ගන්නෙ නියම රසය, නැත්නම් භාවයන් සහිත හඬ ඉස්මතු කර ගැනීමටයි. සංගීතය භාවිතා කළද, හඬ සහ සජීව බව මෙන්ම ස්වීයය බව නිතරම මතුකර ගන්න උත්සාහ ගන්නා සංගීත ශිල්පියෙක්. සංගීතයෙහි සැබෑ හරයත් එයයි. ඒ නිසා තමයි, අපි අදටත් කේමදාස මාස්ටර් ගැන කතා වන්නේ. නදීක උත්සාහ ගන්නෙත් ඒ සැබෑ තීව්රත්වය මතුකර ගැනීමටයි. සංගීතයෙහි පවතින දේ වන්නේ එයයි. මෘදුකාංගය හදලා තියෙන්නෙ කුමකටද? එය භාවිතා කළ යුත්තේ කුමකටද යන්න ඔහුට හොඳ අවබෝධයක් තිබෙන්නෙ. එහෙම නැතිව තාක්ෂණයට හෝ මෘදුකාංගයට ඉස්මතුවීමට ඉඩ සළසා නැහැ. මා දකින විශේෂ දේවල් තමයි ඒවා.
නදීක අද ඔබ දෙදෙනා එක්ව කරන්න හදන දේ ගැන සඳහනක් කළොත්?
කොට්ටාවේ ”ශෛලී” නමින් කලා කේන්ද්‍රයක් තිබෙනවා. එය පවත්වාගෙන යන්නෙ පූජිත ද මෙල් ශිල්පියායි. ඔහු සමග සාකච්ඡුා කරලා අපි එහි සංගීත අංශයෙහි වැඩ කටයුත්තක් ඇරඹීමට පියවර තැබුවා. සවුන්ඞ් ඉංජිනියරින් පාඨමාලාවක් සහ හඬ පිළිබඳ හැදෑරීමට ඒ යටතේ පුළුවනි. දිනූපා යටතේ හඬ පුහුණුව ලබා ගැනීමට පුළුවනි. විශේෂයෙන්ම හඬ පුහුණුව සඳහා තෝරා ගන්නා සිසු සිසුවියන් අතරින්, එයාලගෙ වර්ධන තලයේ ඉහළම තැනට ආ පසු ඔවුන් ඒකරාශි කොට ප‍්‍රසංගයක් පැවැත්වීම අපගේ ඊළඟ අරමුණයි. එය ඉතා මිහිරි සංගීත අත්දැකීමක් ලෙස ප‍්‍රාසාංගික වේදිකාවට ගෙන ඒම අරමුණයි. සංගීත ක්ෂේත‍්‍රයට ඉතා මිහිරි හඬවල් ඇති පිරිසක් දායාද කිරීම අපි දෙන්නගෙ අරමුණයි.

