වැටුප් ප්‍රශ්නයට විසඳුම් හොයන කොමිසමට කැබිනට් අනුමැතිය


ඩයනා උදයංගනී
 
ජනාධිපතිවරයා දුම්රිය වෘත්තීය සමිති සමඟ සාකච්ඡාවේදී පැවසුවේ රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය කිරීම සඳහා විශේෂ කොමිසමක් පත්කර දුම්රිය සේවාවේ ඇතුළු සමස්ත රාජ්‍ය සේවය තුළ පවතින ගැටලූ විසඳීමට කටයුතු කරන බව යැයි සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

         
ඒ අනුව එක් එක් ක්ෂේත්‍රයේ දැනුම හා පළපුරුද්ද සහිත ප්‍රවීණයන්ගෙන් සමන්විත විශේෂ කොමිෂන් සභාවක් පත්කිරීම සඳහා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීම වෙනුවෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට ඊයේ (16) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද සේනාරත්න මහතා කීවේය.
 
මෙම කොමිෂන් සභාව වහාම පත්කිරීමට නියමිත බව කී අමාත්‍යවරයා දැනට රාජ්‍ය සේවයේ පවතින වැටුප් පිළිබඳ  ගැටලූ සඳහා එමගින් මාස දෙකක් ඇතුළත විසඳුම් ලැඛෙනු ඇතැයි ද රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.
 
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
 
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ අමාත්‍යවරයා ඒවාට ලබාදුන් පිළිතුරු මෙසේය.
 
ප්‍රශ්නය -     තමන්ගේ ප්‍රශ්නයට විසඳුමක් නොදී කොමිසමක් පත්කිරීමට රජය ගත් තීරණය වැරදි බවත්, නැවත වර්ජනයකට යාමට සිදුවිය හැකි බවත් දුම්රිය වෘත්තීය සමිති කියනවා නේද?
 
පිළිතුර -      සාකච්ඡාවේදී ජනාධිපතිතුමා කිව්වේ මේක තමයි. වැඩ වර්ජනය අවසන් කළේ ඒ අනුවයි.
 
ප්‍රශ්නය -     අමාත්‍ය මණ්ඩලය ගන්නා තීන්දු ඇමතිවරුන්ගේ විරෝධය මත ක්‍රියාත්මක නොවීම නිවැරදිද?
 
පිළිතුර -      කැබිනට් මණ්ඩලය ප්‍රතිපත්තිමය තීන්දුව ගත්තා. නමුත් එම ක්‍රමවේදය අනුව රාජ්‍ය අංශයේ වෙනත් සමාන්දර ශ්‍රේණිවලටත් වැටුප් වැඩිවීමක් දිය යුතු වෙනවා.
 
ප්‍රශ්නය -     වසර අතරමැද වැටුප් වැඩි නොකරන බවට හා වැටුප් වැඩිකිරීම් අයවැයෙන් පමණක් සිදුකිරීමට රජය තීරණය කර තිඛෙනවාද? මුදල් ඇමතිවරයා එවැනි ප්‍රකාශයක් කර තිඛෙනවා.
 
පිළිතුර -      රජය එවැනි තීරණයක් ගෙන නැහැ. එතුමා කියන්නේ අමාත්‍යාංශයේ තීන්දුවක් විය යුතුයි.
 
ප්‍රශ්නය -     දුම්රිය සේවකයින් තීන්දුවක් එනතතුරු මාස දෙකක් බලා ඉඳියිද?
 
පිළිතුර -      මෙතරම් කල් සිටියා වගේ මාස දෙකක් ඉන්න බැරි ඇයි?
 
ප්‍රශ්නය -     මේ යන විදියට 6/2006 වක්‍රලේඛය වෙනස් වේවිද?

 

පිළිතුර -     ඒ නිසා තමයි ගැටලූ රැසක් ඇතිවී තිඛෙන්නේ. එය අනුව එක කොටසකට වැටුප් වැඩිවෙනවා නම් මුළු රාජ්‍ය සේවකයින්ගේම වැටුප් වැඩි කරන්නට සිදුවෙනවා. එය හරිම අසාර්ථකයි.