(මනෝප‍්‍රිය ගුණසේකර)
කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහි කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරූ නීතීපතිවරයා එම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කරන ලෙස අගවිනිසුරුවරයාගෙන් අද (11) ඉල්ලීමක් කළේය.
චෝදනා 667 ක් යටතේ විත්තිකරුවන් 14 දෙනාට එරෙහිව නීතීපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා ඇති අතර මේ සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරයා ඇතුළු නාවික හමුදා නිලධාරීන් පිරිසකට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බව දැනුම් දෙමින් කොළඹ මහාධිකරණයේ ලේඛාධිකාරීවරයාට ලිපියක් යවා ඇති නීතිපතිවරයා එම ලිපිය මහාධිකරණයේ ප‍්‍රදර්ශනය කරන ලෙස කළ දැනුම් දීමකට අනුව මේ වන විට එම ලිපිය කොළඹ මහාධිකරණයේ ප‍්‍රදර්ශනය කරන බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතා ලංකාදීපයට පැවසීය.
විත්තිකරුවන් විසින් සිදුකළ වරදවල බරපතල තත්ත්වය එම වරදවල් සම්බන්ධයෙන් ඇති අවස්ථානුගත කරුණු මෙන්ම එම සිද්ධීන් හේතුවෙන් දේශිය වශයෙන් මෙන්ම ජාත්‍යයන්තර වශයෙන් ඇති වු ආන්දොලනාත්මක තත්වය හේතුවෙන් මෙවැනි සංකීර්ණ, විද්‍යාත්මක, තාක්‍ෂණික නඩුවක් ඇති කරුණු මෙන්ම එම කරුණු වල ඇති ගුණාත්මකභාවය කඩිනමින් අවබෝධ කරගත හැකි ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් (Trial At Bar) හමුවේ මෙම නඩුව විභාග කිරීම යෝග්‍ය බව නීතීපති දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාට පෙන්වා දී ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම සිද්ධිය හේතුවෙන් දේශිය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ඇති වූ ආන්දොලනාත්මක තත්ත්වය පදනම් කරගනිමින් අධිකරණ සංවිධාන පනතේ 12 (2) වගන්තිය යටතේ සහ අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 450 (4) වගන්තිය යටතේ නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා මෙම ඉල්ලීම කොට ඇතැයිද ඒ අනුව මෙම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට නියම කරන්නැයි නීතීපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
2008 අගෝස්තු 08 වැනිදාත් 2009 සැප්තැම්බර් මස 21 වැනිදාත් අතර කාලය තුළදී කොටහේන, වැල්ලවත්ත, තී‍්‍රකුණාමලය, මඩකලපුව ඇතුලූ ස්ථාන කිහිපයකදී කස්තුරු ආරච්චිගේ ජෝ රීට්, රජීව් නාගනාදන්, ප‍්‍රදීප් විශ්වනාදන්, තිලගේෂ්වරන් රාමලිංගම්, මොහොමඞ් සාජිත්, ජමාල්ඞීන් ඩිලාන්, අමනන් ලියෝන්, රොෂාන් ලියෝන්, ඇන්තනි කස්තුරුආරච්චි, ත්‍යාගරාජා ජෙගන් සහ මොහොමඞ් අලි අන්වර් නමැත්තන් 11 දෙනෙකු මරා දැමීමට කුමන්ත‍්‍රණය කිරීම, ඒ අනුව ඔවුන් පැහැරගෙන යෑම, අයුතු ලෙස සිරකර තැබීම, ඔවුන්ගේ දේපළ බලහත්කාරයෙන් ලබා ගැනීම, මෙම තරුණයින් අතුරුදන් කිරීමට අදාළ සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා 667ක් සම්බන්ධයෙන් නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.
මේ සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට අමතරව හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී කේ පී දසනායක, නිලන්ත සම්පත් මුණසිංහ ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහිව චෝදනා නඟා ඇතැයි වාර්තා වේ.

