ලීටර 5 ට අඩු ජලබෝතල් මුහුදු ගෙයනාම බේරුවලින් තහනම් කරයි


(තුසිත කුමාර ද සිල්වා  )                                                         
 
බේරුවල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා දියඹට යන බහුදින යාත්‍රා 742 ක  ධීවර කාර්මිකයින්ට ලීටර් 5කට අඩු ප්ලාස්ටික්  ජල බෝතල් හෝ වෙනත් කිසිදු බෝතලයක් දියඹට රැගෙන යාම තහනම් බව   බේරුවල ධීවර වාරයේ නියෝජ්‍ය කළමනාකරු ප්‍රසාද් වීරක්කොඩි මහතා අද (31) පැවසීය.
 
මෙම නීතීය අද (31) සිට ක්‍රියාත්මක වේ.
 
 ලෝක ශ්‍රේණීගත කිරීම් අනුව ප්ලාස්ටික් හා පොලිතින් සාගරයට බැහැර කරන රටවල් අතර ශ්‍රී ලංකාව 05 වන ස්ථානයේ සිටින බැවින් සමුද්‍ර දූෂණය වළක්වාලීමට මෙම තීරණය ගත් බව වීරක්කොඩි මහතා පැවසීය.
 
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන  දෙපාර්තමේන්තුව මෙම තීරණය ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලබා දී තිබේ.

 මෙයට මාස කිහිපයක සිට පුර්ව දෙනුම් දීම ධීවරයන්ට ලබා දී තිබු බවත් ඊට අදාල ප්‍රචාරක බැනර් පුවරු වරාය පරිශ්‍රයේ ප්‍රදර්ශනය කර තිබු බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වූ බේරුවල බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති සහ බේරුවල නාගරික මන්ත්‍රී සජිත් දේවප්‍රිය මහතා ප්‍රකාශ කලේ මේ අනුව කටයුතු කිරීමට සියලුම ධීවර යාත්‍රා වල ගමන් කරන ධීවර කාර්මිකයින් ධීවර ව්‍යාපාරික යාත්‍රා හිමිකරුවන් මගින්ද දැනුවත් කර ඇති බවයි.