(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාවට තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 164ක ණය මුදලක් මුදාහැරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමැතිය දී ඇත.
මෙම ණය මුදල මුදාහැරෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලේ හයවැනි වාරිකය ලෙසය.
දේශීය සහ විදේශීය අවිනිශ්චිතතා වැඩිවීම හේතුවෙන් අවදානම්වලට මුහුණදීමේ හැකියාව වර්ධනය කිරීමටත්, ආර්ථික වර්ධනයට සහාය වීමටත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ විනය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වන බව එම ණය මුදල මුදා හරිමින් අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.
වසර තුනක ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ වාරික පහකට බෙදී යන පරිදි ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ලබාදීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල 2016 වසරේදී එකඟතාව පළ කළ අතර එම වැඩසටහන ලබන වසරේ ජූලි 2 වැනිදා දක්වා තවත් වසරකින් දීර්ඝ කිරීමටද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය පසුගිය මැයි මාසයේදී අනුමැතිය දුන්නේය.
හයවැනි වාරිකය මුදාහැරීමත් සමඟ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබී ඇති සම්පූර්ණ මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 1.31කි.
පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර වලින් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන බවත් සංචාරකයන්ගේ පැමිණීම හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම නිසා මේ වසරේ ආර්ථික වර්ධනය සියයට 2.7ක් වනු ඇති බවටත් ලබන වසරේදී ආර්ථික වර්ධනය සියයට 3.5ක් දක්වා වැඩිවනු ඇති බවටත් අන්තර් ජාතික මූල්‍ය අරමුදල අනාවැකි පළකර ඇත.
හයවැනි ණයවාරිකය මුදා හරිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ සහ විධායක කමිටුවේ වැඩ බලන ප්‍රධානී මිට්සුහිරෝ ෆුරුසාවා නිකුත් කළ නිවේදනයේ මෙසේ දැක්වේ.
“ශ්‍රී ලංකා ආර්ථිකය, පාස්කු ඉරු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරවල බලපෑමෙන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. සංචාරක පැමිණීම් හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වීම හේතුවෙන් ආර්ථික වර්ධනය 2019 වසරේ සියයට 2.7 සිට 2020 වසරේදී සියයට 3.5 දක්වා ශක්තිමත් වනු ඇතැයි පුරෝකථනය කෙරේ. දේශීය හා විදේශීය අවිනිශ්චිතතා වර්ධනය වීම මධ්‍යයේ සැලකිය යුතු අවදානම් පැවතීම හේතුවෙන් අවදානම්වලට මුහුණදීමේ හැකියාව වර්ධනය කිරීමට සහ ආර්ථික වර්ධනයට සහය වීම සඳහා රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තියෙහි විනය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ”
“ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් වූ රාජ්‍ය ආදායම් අඩු වීම අවම කර ගැනීමට සහ වැඩසටහන යටතේ අසීරුවෙන් ළඟා කරගත් ජයග්‍රහණ ආරක්‍ෂා කර ගැනීම සඳහා බලධාරීහු පියවර ගනිමින් සිටිති. අත්‍යවශ්‍ය සමාජ සහ ආයෝජන වියදම් සඳහා අවකාශ්‍ය සලසා දෙමින්, රාජ්‍ය ණය ප්‍රමාණය අඩු කර ගැනීම සඳහා 2020 වසරේදී රාජ්‍ය ආදායම් වර්ධනය කර ගැනීමට අඛණ්ඩව ප්‍රයත්න දැරිය යුතු වේ. මධ්‍යකාලීනව නව රාජ්‍ය මූල්‍ය නීති රාමුවක් සහ ස්වාධීන රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක් පිහිටුවීම, රාජ්‍ය ණය මට්ටමේ තිරසාරභාවය පවත්වා ගැනීම සඳහා උපකාරී වනු ඇත. රාජ්‍ය මුල්‍ය අවදානම් අඩු කර ගැනීම සඳහා විදුලිබල ක්ෂේත්‍රයේ රාජ්‍ය අංශය සතු ව්‍යවසායයන්හි ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම අත්‍යවශ්‍ය වේ.”
“ ශ්‍රී ලංකා මහ බැංකුව දත්ත මත පදනම් වූ මුදල් ප්‍රතිපත්තියක් පවත්වා ගත යුතු වේ. නම්‍යශීලි උද්ධමන ඉලක්කකරණ රාමුවක් පවත්වා ගැනීම උදෙසා නව මහ බැංකු පනත ප්‍රධාන සන්ධිස්ථානයක් වනු ඇත. වෙළඳපොළ පීඩනයන් පවතින අවස්ථාවල දී විනිමය අනුපාතිකයේ නම්‍යශීලිත්වය පවත්වා ගැනීමට ඉඩ සලසමින් කම්පනයන්ට එරෙහිව ආර්ථිකය සුරක්‍ෂිත කිරීම සඳහා විදේශ සංචිත ශක්තිමත්ව පවත්වා ගැනීමට ප්‍රයත්න දැරිය යුතු වේ”
“තරඟකාරීත්වය ශක්තිමත් කිරීමට සහ ශක්තිමත් සාර්ව සහභාගිත්වයකින් යුතු ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී තවදුරටත් ප්‍රගතියක් අත්‍යවශ්‍ය වේ. ජාත්‍යන්තර වෙළඳාම හා සම්බන්ධ තීරු බදු නොවන අනෙකුත් බදු ක්‍රමයෙන් ඉවත් කිරීම මගින් රාජ්‍ය ආදායම කෙරෙහි ඇති විය හැකි බලපෑම හඳුනාගනිමින් වෙළඳාම ලිහිල් කිරීම, පාලන ක්‍රමය සහ දූෂණ විරෝධී යාන්ත්‍රණය ශක්තිමත් කිරීම, කාන්තාවන් ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම ප්‍රවර්ධනය කිරීම, දේශගුණික විපර්යාසයන් නිසා වන වෙනස්කම්වලට මුහුණ දීමේ හැකියාව ඇති වාතාවරණයක් ගොඩනැගීම සහ සමාජ ආරක්‍ෂණය වැඩිදියුණු කිරීම යනාදී කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට ප්‍රයත්නයන් දැරිය යුතුය.”

