රජරට වෛද්‍ය පීඨ සිසුන්ගේ විභාග නවතී


(අතුල බණ්ඩාර)

දිරි දීමනා ගෙවීම අත්හිටුවීම පිළිබඳව විරෝධය පළකරමින් රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා සහ එහි සියලු දෙපාර්තමේන්තුවල අංශ ප්‍රධානීන් පෙරේදා (09) සිය ධුරවලින් ඉවත්වීම නිසා ලබන සඳුදා (15) සිට පැවැත්වීමට නියමිතව තිබූ එම පීඨයේ වෛද්‍ය සිසුන්ගේ විභාග කටයුතු ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

පීඨාධිපතිවරයා හා අංශ ප්‍රධානීන් නොමැතිව විභාග පැවැත්වීමට නොහැකි නිසා මේ තත්ත්වය උද්ගත වී ඇතැයි පැවසේ.

2014 වර්ෂයේ සිට රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා ඇතුළු මහාචාර්යවරුන්ට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා කථිකාචාර්යවරුන්ට ගෙවු රඳවා ගැනීමේ දිරිදීමනාව පසුගිය සැප්තැම්බර් මාසයේ සිට නතර කිරීමට රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ගෙන තිබෙන තීරණයට විරෝධය පළ කරමින් එම පිරිස මෙතෙක් ඔවුන් දැරු ධුරවලින් ඉවත් වී ඇත.

මේ ගැන අප කළ විමසීමේ දී කරුණු පැහැදිලි කළ රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපති මහාචාර්ය සිසිර සිරිබද්ධන මහතා පැවසුවේ සිය පීඨයේ පවතින ආචාර්යවරුන්ගේ හිඟයට පිළියමක් ලෙස සේවය කරන සහ සේවය සඳහා පැමිණෙන ආචාර්යවරුන් රඳවා ගැනීමේ පියවරක් වශයෙන් 2014 වසරේ සිට රජරට විශ්වවිද්‍යාලය මගින් ගෙවු දිරි දීමනාව උපකුලපතිවරයා විසින් පසුගිය මාසයේ සිට හිටි හැටියේ නතර කිරීම නිසා ඊට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගත් බවය.

මහාචාර්යවරයකුට රුපියල් ලක්‍ෂයක් ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකුට රුපියල් අසූදහසක් හා කථිකාචාර්යවරයෙකුට රුපියල් පනස් දහසක් ද වශයෙන් මාසිකව ගෙවූ දිරි දීමනාව නතර කිරීම නිසා, ඔවුන් ඉදිරියේ දී රජරට වෛද්‍ය පීඨය හැරයාමට ඉඩ ඇතැයි කී මහාචාර්ය සිරිබද්ධන මහතා, ඉන් අසීරුතාවයට පත්වන්නේ පීඨයේ වෛද්‍ය සිසුන් බව පැවැසීය.

මේ වන විට සිසුන් 1100ක් පමණ ඉගෙනුම ලබන රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගැන්වීමේ කටයුතු සඳහා මහාචාර්යවරුන්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් සහ කථිකාචාර්යවරුන් 110 දෙනකු අවශ්‍යවූවත් දැනට සිටින්නේ 37 දෙනකු පමණකැයි පැවැසූ මහාචාර්යවරයා, එය අවශ්‍ය ආචාර්යවරුන් ප්‍රමාණයෙන් තුනෙන් එකක ප්‍රමාණයක් බව පෙන්වා දුන්නේය.

එවැනි තත්ත්වයක් යටතේ වුවද දැනට සේවය කරන මහාචාර්යවරුන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්වරුන් සහ කථිකාචාර්යවරුන් උනන්දුවෙන් ඉගැන්වීමේ කටයුතුවල නිරතවීමට මෙතෙක් ඔවුන්ට ලැබුණු දිරි දීමනාව ප්‍රධාන වශයෙන් හේතු වූ බව ද මහාචාර්යවරයා වැඩිදුරටත් පැවැසීය.

පැන නැගී ඇති මෙම ගැටලුව පිළිබඳව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා සමග ද සාකච්ඡා කළ නමුත් විසඳුමක් නොලැබුණු නිසා මෙතෙක් දැරූ පීඨාධිපතිධුරයෙන් තමා ඉවත් වූ බවත්, තමා සමග වෛද්‍ය පීඨයේ සියලු දෙපාර්තමේන්තුවල අංශ ප්‍රධානීන් ද ඉවත් වූ බවත් කී මහාචාර්ය සිරිබද්ධන මහතා, කෙසේ වෙතත් මේ පිරිස සිසුන්ගේ ඉගැන්වීමේ කටයුතුවල යෙදෙන බව පැවැසීය.

මේ සම්බන්ධයෙන් රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජයවර්ධන මහතාගෙන් කළ විමසීමේ දී ඔහු පැවසුවේ වෛද්‍ය පීඨයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා එස්.බී. දිසානායක මහතා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී 2014 වසරේ සිට මෙම දිරිදීමනාව ගෙවා ඇත්තේ “කට වචනයට” බවය.

කෙසේ වෙතත් මෑතක දී මහා භාණ්ඩාගාරයෙන් නිකුත් කළ චක්‍රලේඛයක් මගින් නිසි අනුමැතියකින් තොරව කිසිදු දීමනාවක් නොගෙවන ලෙස දැනුම් දීම නිසා මෙතෙක් කල් “කට වචනයට” ගෙවූ එම දිරිදීමනාව පසුගිය මාසයේ සිට නැවැත්වීමට සිදුවූ බව කී උපකුලපතිවරයා, එය නැවැත්වීමට පෙර එම දීමනා ගෙවීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට තමන් උත්සාහ කළද එය සාර්ථක නොවූ බවද පැවැසීය.

තමන්ට දැන ගැනීමට ලැබුණු ආකාරයට යම් හෙයකින් මෙම දීමනාව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන් ගෙවීමට අනුමැතිය ලබාදුනහොත් අනෙකුත් විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨයන්හි අධ්‍යයන කාර්ය මණ්ඩලවලින් ද එම දීමනාව ඉල්ලා බලපෑම් එල්ල විය හැකි නිසා ඊට කැබිනට් අනුමැතිය නොලැබීමට හේතු වී තිබෙන බවද උපකුලපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

කෙසේ වෙතත් රජරට වෛද්‍ය පීඨයේ උද්ගත වී තිබෙන මේ තත්ත්වය යටතේ ලබන සඳුදා ආරම්භ කිරීමට නියමිතව තිබූ එම පීඨයේ වෛද්‍ය සිසුන්ගේ විභාග පැවැත්වීම නොහැකි වන බව ද උපකුලපතිවරයා පැවැසීය.