ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය විරුද්ධත්වය ඉවත් කරගැනීමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී) ගිවිසුමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
යටිතල පහසුකම් සංවර්ධනය සහ මාර්ග තදබදය කළමනාකරණය කිරීම යන ප්‍රධාන කරුණු ආවරණය කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ප්‍රදානයක් ලෙස මෙම මුදල ශ්‍රී ලංකාවට හිමි වේ.
“මෙය රජය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් වගේම අනාගතය පිළිබඳ හොඳ නිමිත්තක්” යැයි ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ප්‍රදානයට කැබිනට් අනුමැතිය හිමි වීමෙන් අනතුරුව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමත් සමඟ ඇති වූ දේශපාලන අර්බුදය නිසා ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට අදාළ ප්‍රදානය ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත්තේය.
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කර කඩිනම් මැතිවරණයකට යෑමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගැනීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වියවුලක් ඇතිවිය.
2015 වසරේ සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් අතර පෞද්ගලිකව සහ දේශපාලනික වශයෙන් ඇති වූ අර්බුද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට හේතුවිය.
කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන් අතර ඒ අනුව වික්‍රමසිංහ මහතා නැවත වරක් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.
කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවත් අතර නිරන්තරයෙන් මතභේද හා ගැටුම් ඇති වූ අතර එම්.සී.සී. ගිවිසුමට අත්සන් තැබීම ප්‍රමාද විය. අගනුවර වන කොළඹ සහ ඒ අවට නගරවල මාර්ග තදබදය කළමනාකරණය කර මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීම අරමුණ ඇතිව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව එම්.සී.සී. ගිවිසුමට අත්සන් තබා ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක මූල්‍ය ප්‍රදානය ලබාගැනීමට උනන්දු විය.
නොවැම්බර් 16 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු නොවන අතර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහායකු තේරී පත්වූ විගස ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතුය.
සංචාරක නවාතැනක් ලෙස ශ්‍රී ලංකාව විදේශ ආධාර හා ණය මත දැඩිව යැපේ. දේශපාලන අස්ථාවරත්වය නිසා පසුගිය වසරේ අවසන් කාර්තුවේදී මෙරට ආර්ථිකය වර්ධනය වූයේ සියයට 1.8ක් තරම් අඩු වේගයකිනි.
269කට මරු කැඳවමින් හෝටල් තුනක් සහ කතෝලික පල්ලි තුනක් ඉලක්ක කරගනිමින් මේ වසර මුලදී ජිහාද්වාදීන් එල්ල කරන ලද මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාර මාලාව නිසා ද ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය.
(ඒ.එෆ්.පී. ඇසුරිනි)
055

