(අජන්ත කුමාර අගලකඩ)
ඇමරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට ජනාධිපතිවරණයට පෙර අත්සන් නොකරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් අමැති මංගල සමරවීර මහතාට දැනුම් දී තිබේ.
ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයාට අද (31) පස්වරුවේ දුරකතනය මගින් මේ බව දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අකමැත්ත පලකර තිබුණද ගිය අගහරුවාදා (29) පැවැති කැබිනට් රැස්වීමේදී ඊට අනුමැතිය ලැබී තිබේ.
මේ අතර ජනාධිපතිවරණයට පෙර මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අත්සන් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද පෙරේදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.
පත්කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමි සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල හා විමල් වීරවංශ යන මහත්වරුන්ද අද පස්වරුවේ හදිසියේම ජනාධිපති කාර්යාලයට ගොස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී මෙම ගිවිසුම අත්සන් කිරීම නවත්වන්නැයි ඉල්ලීමක් කර ඇත.
මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් ඇතිවිය හැකි ගැටලුකාරී තත්ත්වයන් ගැනද ඔවුන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර තිබිණි.
කෝපරේෂන් මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුවද එය ජනාධිපතිවරණයට පෙර අත්සන් නොකරන්නැයි තමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බවද ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන් තිදෙනා සමඟ ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ගිවිසුමේ ජනාධිපතිවරයාට පෙර කිසිම හේතුවක් මත අත්සන් නොකරන්නැයි ජනාධිපතිවරයා මංගල සමරවීර ඇමැතිවරයාට දැනුම් දී ඇත.

