බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළි කුණාටුවක් වර්ධනය වන ලකුණු


(ඩයනා උදයංගනී)
 
උතුරු අන්දමන් මුහුදු ප‍්‍රදේශයේ සහ යාබද ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය ඉදිරි පැය 48 තුළ තුළදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්‍ෂා කරන අතර ඒ හේතුවෙන් එම මුහුදු ප‍්‍රදේශය ඉතා රළු විය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසීය.

ධීවර හා නාවික ප‍්‍රජාව මේ සම්බන්ධයෙන් විමසිලිමත්විය යුතු බව ද ඔහු සඳහන් කළේය.

විශේෂයෙන්ම ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප‍්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත පිරිස් දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු අතර එම මුහුදු ප‍්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා කීවේය.