පුත්තලම-මන්නාරම මාර්ගයේ ගමනාගමන කටයුතු තාවකාලිකව නවත්වයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
කලාඔයේ  ජල  මට්ටම  ඉහළ යාමත් සමඟ පුත්තලම මන්නාරම මාර්ගයේ ගමනා ගමනය නැවත දැනුම් දෙනතුරු නවත්වා  ඇතැයි  පුත්තලම ආපදා කළමණාකරන ඒකකය කියයි.
 
කඳුකර පෙදෙස් වලට පවතින අධික වර්ෂාවත් සමඟ ගලා එන ජලය හේතුවෙන් කළාඔයේ ජල මට්ටම  ලෙස ඉහල  ගොස් ඇති බැවින් පවතින අවදානම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි  පුත්තලම ආපදා කළමණාකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එම්.ආර්.එන්.කේ. අලහකෝන් මහතා කීවේය.
 
මේ නිසා විල්පත්තුව ජාතික වන උද්‍යානය මැදින් මන්නාර මාර්ගයට ගමන් ගන්නා පුත්තලම පිවිසුම වන එළුවන්කුලම ක්‍රොස්වේ , සපත්තු පාලම  මතින් අද  (18 )  වන විට අඩි පහකට ආසන්න ජල කදක් ගලා යාම සිදුව බවද අපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
 
මෙම මාර්ගයේ ගමන් කිරීම  අවදානම්  බැවින්  නැවත දැනුම් දෙන තුරු මන්නාරම ගමන් කිරීමට නම්  පුත්තලම අනුරාධපුර මාර්ගය භාවිතා කරන ලෙසද අධ්‍යක්ෂවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
 
විල්පත්තුව වනඋද්‍යාන භාර උද්‍යාන පාලක චමත් ලක්ෂමන් පෙරේරා මහතා සඳහන් කර  සිටියේ මෙම මාර්ගයේ ස්ථාන කිපයක් වැසි ජලයෙන් පිරි ඇති බවත් එසේම අධික මඩ සහිත විම නිසා කිසිම අයුරකින් වාහන ධාවනය කල නොහැකි බවත්ය.සිලාවතුර දෙසින් මුල්ලිකුලම් පිවිසුම ආසන්නයේ ඇති මෝදගම් ආරු පාලමට ඉහළින් ජලය ගලා යාම සිදුව ඇති බවද ඔහු කීවේය.